Wednesday, October 30, 2024
Follow Us
ණය උගුල මිත්‍යාවක් චීන තානාපති කියයි

ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීම අපහසුයි


ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීම අපහසු බව ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට ඓතිහාසික හේතු ඇති බවය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී ඔහු ඒ බව පැවසීය.

මෙරටට ලබාදී ඇති චීන ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බහුතරයක් ණය සහනදායි ණය බවත් ඉන් බොහෝමයක් යටිතල පහසුකම් සංවර්ධනයට සහ පාරිසරික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් සැපයු ණය බවත් ය.

“ශ්‍රී ලංකාවේ සහ චීනයේ මූල්‍ය අංශ ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති මූල්‍ය ආධාර සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ. මේ වනවිට ශ්‍රී ලංකාව තාවකාලිකව බාහිර ණය ගෙවීම අත්හිටුවා තිබෙන්නේ. ඔවුන් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් ඉන්නේ.”

ශ්‍රී ලංකා බලධාරීන් තම ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5ක් ඉල්ලා ඇති බව වාර්තා විය.

ඉන් ඩොලර් බිලියනයක් චීනයෙන් ලබාගත් ණයක් පියවීමට යොදාගැනෙන අතර ඉතිරි ඩොලර් බිලියන 1.5 ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා යෙදවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා පැවැත්වෙන බැවින් සිය පාර්ශ්වය සමග සිදුකෙරෙන අදහස් හුවමාරුව පමාවිය හැකි බවය.

චීන තානාපතිවරයා තවදුරටත් පැවසුවේ “ණය උගුල” මිත්‍යාවක් බවය.

 

(Aruna)