Wednesday, October 30, 2024
Follow Us
ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා බංග්ලාදේශයේ ආයතනික අංශය සූදානම් වේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පවතින බවත්, දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා කාලය එළඹ ඇති බවත්, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයේ වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FBCCI) සභාපති ජශීම් උද්දීන් මහතා සමඟ 2022 අප්‍රේල් 3 වැනි දින ඩකා හි දී පවත්වන ලද හමුවක් අතරතුර මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා විසින් මෙම අදහස පිළිබඳව අවධාරණය කරන ලදී.

දෙරටේ අපනයන කූඩය විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාවය සහ දැනට සාකච්ඡාවට බඳුන්ව ඇති යෝජිත වරණීය වෙළඳ ගිවිසුම (PTA) අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ සභාපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, නාවික කටයුතු, බලශක්තිය, ආයෝජන, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි. අවධානය යොමු වන අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය ගෙන ඇති මුලපිරීම් පිළිබඳව විස්තර කළ මහ කොමසාරිස්වරයා, සක්‍රීය ආර්ථික සහයෝගීතාවක නිරත වන අතරතුර යෝජිත මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා FBCCI හි සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙහිදී අදහස් දැක්වූ FBCCI හි සභාපති උද්දින් මහතා, යෝජිත වරණීය වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සම්මේලනය සහ ව්‍යාපාරික ප්‍රජාවන් ඉහළ උනන්දුවක් දක්වන බවත්, යෝජිත වරණීය වෙළඳ ගිවිසුම හරහා රටවල් අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා FBCCI හි සහයෝගීතාව දීර්ඝ කිරීමට ද එතුමා සිය එකඟත්වය පළ කළේ ය.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු මොහොතක ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වන ලෙස මහ කොමසාරිස්වරයා FBCCI හි ව්‍යාපාරික නියෝජිත පිරිසට ආරාධනා කළේ ය. අනෙකුත් නිලධාරීන් ද සමඟ මහ කොමසාරිස්වරයාගේ ආරාධනාව පිළිගත් FBCCI සභාපතිවරයා, ඉදිරි දිනක මේ සඳහා නියෝජිත පිරිසක් සංවිධානය කරන බවද ප්‍රකාශ කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශ්‍රීමාලි ජයරත්න මහත්මිය ද සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා