Wednesday, October 30, 2024
Follow Us
IMF සමග කටයුතු කිරීමෙන් මෙරටට වාසි රැසක් ලැබෙනවා - රජයේ ජේෂ්ඨ නිලධාරියෙකු පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමෙන් මෙරටට වාසි රැසක් අත්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එමගින් ශ්‍රී ලංකාව විදෙස් රටවල් සඳහා ගෙවීමට ඇති ණය මුදල්, අදාළ කාලසීමාවන්වලදී නොගෙවා සිටීමට ද හැකියාව පවතින බවයි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය ගෙවීම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරණ අතර ඔවුන් අදාළ රටවල් සමග සාකච්ඡා කර ණය ගෙවීමේ කාලසීමාවන් දීර්ඝ කර ගැනීමට කටයුතු කරනු ඇති බවයි රජයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වර්ෂයකට අමෙරිකානු ඩොලර් බිලියනය බැගින් වසර 03 ක් තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් මෙරටට හිමිවනු ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙරට ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිය ද ඒ සඳහා අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මූල්‍ය සහනාධාරයක් ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කොන්දේසිවලට අනුව යෝජනා වී ඇත්තේ. මෙම සහන මෙරටට ලබාගැනීම සඳහා තවත් මාස 06 ක පමණ කාලයක් ගතවනු ඇති බව ද රජයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)