Wednesday, October 30, 2024
Follow Us
ශ්‍රී ලංකාව ඉල්ලූ ඩොලර් බිලියන 2.5 ගැන චීනයේ අවධානය

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව මෙරට චීන තානාපති කුයි ෂැං හොං පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චීන තානාපතිවරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර තත්වයන් කෙසේ වෙනස් වුව ද චීනය ලංකාවට සහය දක්වන්නේ ලගම මිත්‍රයෙක් ලෙයසි ඔහු එහිදී සදහන් කළේ.

කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට මේ දක්වා ලංකාව මුහුණ දුන් අර්බුදවලට විසදුම් ලෙස චීනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ වාර්තාවන්ට අනුව අවසන් සතිය වනවිටත් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් නියමිත පරිදි සිදුකර ඇති බවයි චීන තානාපතිවරයා පැවසුවේ. මේ හේතුවෙන් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පැසසුමට ලක්ව ඇති බව ද එම මාධ්‍ය හමුවේදී චීන තානාපතිවරයා සදහන් කළා.

මේ අතර චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති අනෙකුත් ආයෝජන සම්බන්ධයෙන් ද අදහස් පල කළ චීන තානාපති කුයි ෂැං හොං පැවසුවේ කොළඹ වරාය නගරය තුළ මේ වන විටත් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් චීන ව්‍යාපාරිකයන් විසින් ආයෝජනය කර ඇති බවයි.

(Neth)