යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර රුසියානු හමුදාව විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මේවනවිට යුක්රේනය ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ඉතා දරුණු බවයි.
යුක්රේනයේ කාකිව් නගරයට අද උදැසන එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලක් සහ පොලිස් ස්ථානයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. කාකිව් නගරය මේවනවිට සම්පූර්ණයෙන්ම රුසියාව හමුදාව විසින් වටලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් නගරයේ බලය තවමත් පවතින්නේ යුක්රේන හමුදාව යටතේ බව කාකිව්හි නගරාධිපතිවරයා සඳහන් කළා. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කළේ කාකිව්හි නගර සභා ගොඩනැගිල්ලට ද රුසියානු හමුදාව විසින් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
මේ අතර යුක්රේනයේ කර්සන් නගරය තමන් යටතේ ඇතැයි රුසියානු හමුදාව පවසනවා. එහෙත් යුක්රේන බලධාරීන් පවසන්නේ කර්සන් නගරයේ බලය තමන්ගෙන් ගිලිහී නොමැති බවයි. කෙසේවෙතත් ගතවූ පැය 24 දී පමණක් යුද ගැටුම් හේතුවෙන් යුක්රේන වැසියන් 20 කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
මේ අතර යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය ආශ්රිත ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වනවා.
එම න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටි ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා යුක්රේන හමුදාව සහ සිවිල් වැසියන් එක්ව සියලුම මාර්ග අවහිර කරමින් මාර්ග බාධක යෙදීමට පියවර ගෙන ඇතැයි සඳහන්. යම් ලෙසකින් එම න්‍යෂ්ටික විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය චර්නොබිල් බලාගාරයේ ඇතිවූ ඛේදවාචකයට නොදෙවෙනි වනු ඇති බවයි විචාරකයින් අනතුරු අගවන්නේ.
මේ අතර කිව් අගනුවර අල්ලා ගැනීම සඳහා පැමිණෙමින් ඇති සැතපුම් 40 ක දිගකින් යුත් රුසියානු හමුදා සන්නද්ධ රථ පෙළ මේවනවිට කිව් අගනුවරට කිලෝමීටර් 15 ක් පමණ දුරින් සිටින බවයි වාර්තා වන්නේ.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්ලෝර් අද නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටියේ යුක්රේන අර්බුදය සඳහා මැදිහත් නොවන ලෙසයි. එසේවුවහොත් අනාගතයේදී ඇතිවන යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අතර රුසියානු ප්‍රහාරවලට මුහුණ දීම සඳහා සිය රටට සහය ලබාදෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි අද යළිත් බටහිර රටවලින් ඉල්ලීමක් කළා. ඔහු පැවසුවේ රුසියාවට අවශ්‍ය වන්නේ සිය රට සහ ජනතාව අතුගා දැමීමට බවයි.
යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද උණුසුම මධ්‍යයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතික අනාවැකි කාරියක් වන බාබා වැන්ගා පළ කළ අනාවැකියක් මේදිනවල වැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී ඇය පවසා තිබුණේ රුසියාව ලෝකයේ බලවතා බවට පත්වන අතර යුරෝපය මුඩුබිමක් බවට පත්වන බවයි. සියල්ල අයිස් ලෙසින් දියවී ගිය නමුත් රුසියාවේ සහ ව්ලැදිමීර් පුටින්ගේ බලය නොවෙනස්ව පවතිනු ඇති බව ද ඇය පවසා තිබුණා. ඇය වැඩිදුරටත් පවසා තිබුණේ යම් දිනෙක රුසියාව නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇති බවයි.
මීට වසර 26කට පෙර බබා වැන්ගා මියගිය නමුත් ඇය පළ කළ අනාවැකි අදටත් ලොව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඩයනා කුමරියාගේ මරණය, සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඇතුළු තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන් බබා වැන්ගා පළ කළ අනාවැකි ලොව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළා.
(Neth)