Wednesday, October 30, 2024
Follow Us
" අප සටන් කරන්නේ නිදහස වෙනුවෙන් : අපි ආසයි අපේ ළමයින් ජිවත්ව ඉන්නවා දකින්න" - යුක්රේන ජනපතිට උණුසුම් පිළිගැනීමක්

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊෙය් සවස යුරෝපීය පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. එහිදී යුක්රේන ජනාධිපතිවරයාට යුරෝපිය පාර්ලිමේන්තු සාමාජිකයින් ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර සියලුම මන්ත්‍රීවරුන් සිය ආසන වලින් නැගිට යුක්රේන ජනාධිපතිවරයාට අත්පොළසන් දී පිළිගනු ලැබුවා.

යුරෝපිය පාර්ලිමේන්තුව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියේ තම රට " සිය පැවැත්ම වෙනුවෙන් සටන් කරමින්" සිටින බවයි.

"අපි සටන් කරන්නේ අපේ භූමිය සහ අපේ නිදහස වෙනුවෙන් පමණයි, "අපි ආසයි අපේ ළමයි ජීවත් වෙනවා දකින්න. මම හිතන්නේ ඒක සාධාරණයි." යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරනු ලැබූ අතර එහිදී එය පරිවර්තනය කරමින් සිටි පරිවර්තකයා හැඟුම්බර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

"අපි අපේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා ... අපි පැවැත්ම සඳහා සටන් කරනවා. මෙය අපගේ අභිප්‍රේරණයේ ඉහළම අගයයි" යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

“නමුත් අපි සටන් කරන්නේ යුරෝපයේ සමාන සාමාජිකයන් වීමටයි. අද අපි සෑම කෙනෙකුටම පෙන්වමින් සිටිනවා අපි හරියටම කවුරුන්ද වග. මම එය විශ්වාස කරනවා." ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“අපි අපේ ශක්තිය ඔප්පු කර තිබෙනවා. අවම වශයෙන්, අපි ඔබ හා සමාන බව අපි ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඔබ අප සමඟ සිටින බව ඔප්පු කරන්න. ඔබ අපව අත්නොහරින බව ඔප්පු කරන්න. ඔබ ඇත්ත වශයෙන්ම යුරෝපීයයන් බව ඔප්පු කරන්න. එවිට ජීවිතය මරණයෙන් ද ආලෝකය අන්ධකාරයෙන් ද ජය ගනීවි" යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ජිනීවාහි පැවති නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය දේශනය පවත්වමින් සිටින අතර වාරයේදී යුරෝපයේ සහ අනෙකුත් මිත්‍ර පාර්ශ්වීය රටවල නියෝජිතයින් සභා ගර්භයෙන් නැගිට ඉවතට ගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් යුරෝපය ඇතුළු මිත්‍ර පාර්ශ්වීය රටවල නියෝජිතයින් මෙම පියවර ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

(Neth)