Thursday, October 31, 2024
Follow Us
එංගලන්තයෙන් එවූ අපද්‍රව්‍ය බහලුම් 45ක් අද නැවත හරවා යවයි

ඉකුත් සමයේ එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහලුම්වලින් ඉතිරි වූ බහලුම් 45ක් අද දිනයේ ප්‍රති අපනයනය කෙරෙනවා. ඒ, රේගු දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේයි.

අදාල බහලුම් 45 කොළඹ වරායේ සී අයි සී ටි අංගනයේදී අද දිනයේ නැව් ගත කෙරෙනවා. පාර්සල් සම්මුතිය යටතේ යම් රටකින් තවත් රටකට අපද්‍රව්‍ය අඩංගු බහලුම් ප්‍රවාහනය කිරීම තහනම් වනවා. එසේ තිබියදී ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මුත්තුකුමාර් නැමැත්තා එරට පිහිටි වැන්ගාඩ්ස් සමාගම යටතේ මෙම අපද්‍රව්‍ය බහලුම් දිවයිනට එවා තිබුණා.

එම බහලුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතර මැදියා ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ 05 පාක් පාරේ ඊ එල් ටී කලම්බු සමාගමයි.

එම බහලුම් සඳහා සැපයුම් සේවා පාර්ශව ලෙස පමණක් හේලීස් සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම සමාගම සිදු කර ඇත්තේ වත්තල ඇවරිවත්තේ පිහිටි අංගණය බහලුම් තැබීමට පමණක් ලබා දීමටයි. එහෙත් එම බහලුම් තොගය ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් හේලිස් සමාගම කිසිදු අයුරකින් මැදිහත් වීම් සිදු කර නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

(Neth)