ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන ("විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල" වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals) ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ 72 වෙනි අදියර (පෙබරවාරි 10- 20) නියෝජනය කරන ජූරි සභිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව "තරගකාරී" හා "තරගකාරී නොවන" කාණ්ඩ ද්විත්වයට අයත් විවිධ අංශ යටතේ මෙවර බර්ලින් උළෙලේ තිරගත කෙරෙන කුලුඳුල් සිනමාපට අතුරින් "විශිෂ්ටතම කුලුඳුල් වෘත්තාන්ත සිනමා පටය තේරීම උදෙසා වූ නිළ ජූරිය" (Official Jury for Best First Feature Award) නියෝජනය කිරීමේ අවස්ථාව කාන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දරට හිමිව තිබෙනවා.
විමුක්තිට අමතරව, ඉතාලි ජාතික ගයියා ෆේරා (Gaia Furrer) සහ ඇෆ්ගනිස්තාන ජාතික සිනමා අධ්‍යක්ෂිකා ශර්බානෝ සදාත් (Shahrbanoo Sadat) යන දෙපළ ජූරියේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබනවා.
1951 වසරේදී ආරම්භ වූ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියක් (නිළ හෝ ස්වාධීන හෝ වේවා) නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ වූ සිව්වෙනි අවස්ථාව මෙය වනවා.
මීට පෙර ෆෙලික්ස් ප්‍රේමවර්ධන (1994 දී - ක්‍රිස්තියානි ජූරිය) හා ඈෂ්ලි රත්නවිභූෂණ (1998 දී හා 2005 දී -නෙට්පැක් ජූරිය) ශ්‍රී ලාංකේය ජූරි සභිකයින් ලෙසින් බර්ලින් උළෙල නියෝජනය කොට තිබෙනවා.
එහෙත් ප්‍රේමවර්ධන හා රත්නවිභූෂණ නියෝජනය කළ ජූරි සියල්ලම ස්වාධීන ජූරීන් (Independent Juries) වූ හෙයින්, බර්ලින් උළෙලේ නිළ ජූරියක් (Official Jury) නියෝජනයට ඇරයුම් ලද පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් විමුක්ති ජයසුන්දර ඉතිහාසයට එක්වනවා.
1956 වර්ෂයේ සිට ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "A" ශ්‍රේණියේ තරගකාරී සිනමා උළෙලක් ලෙසට වර්ගීකරණය වන බර්ලින් සිනමා උළෙල, ලොව අනෙකුත් සිනමා උළෙල වර්ගීකරණයන් තුළද ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උළෙලක් ලෙසින් ශ්‍රේණිගත වනවා.
කාන්ස් (වසර 76 ක් ඉපැරණි), වෙනිස් (වසර 90 ක් ඉපැරණි) හා බර්ලින් (වසර 72 ක් ඉපැරණි) යන ලොව ප්‍රබලතම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වය තුළ මේ දක්වා නිළ ජූරියක් නියෝජනය කිරීමේ අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකිකයා ලෙස්ටර් ජේම්ස් පීරීස් වන අතර (ප්‍රධාන අන්තර්ජාතික නිළ ජූරිය- කාන් සිනමා උළෙල- 1992 දී), එළෙඹෙන පෙබරවාරි 10 වෙනිදා සිට එවන් උළෙලක නිළ ජූරියක් නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන දෙවෙනි ශ්‍රී ලාංකිකයා බවට විමුක්ති ජයසුන්දර පත්වනවා.
පළමු වරට 2005 වසරේදී ප්‍රංශයේ පැවති මර්සෙයි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම ජූරිය නියෝජනය කරමින්, ජාත්‍යන්තර ජූරි සභිකයෙකු බවට පත්වූ විමුක්ති ජයසුන්දරගේ 17 වෙනි ජූරි නියෝජන අවස්ථාව 72 වෙනි බර්ලින් උළෙලේදී සටහන් වනවා.
ඒ අනුව මේ වන විට "ජාත්‍යන්තර ජූරි අවස්ථා වැඩිම සංඛ්‍යාවක් (16) නියෝජනය කළ ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා" යන වාර්තාවේ හිමිකාරිත්වය ප්‍රසන්න විතානගේට හා විමුක්ති ජයසුන්දරට සමව හිමිව තිබුණද, එළෙඹෙන පෙබරවාරි 10 වෙනිදා සිට එම වාර්තාවේ (අවස්ථා 17 යි) තනි හිමිකාරිත්වය විමුක්ති ජයසුන්දරගේ නමින් ලියවෙනු ඇත.
(Neth)