Thursday, October 31, 2024
Follow Us
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද

අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක මෙන්න


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ වර්තමාන විස්සයි විස්ස ලෝක ශූර ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11 වැනිදා) ප.ව. 1.30ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහභාගි වන පළමු විස්සයි විස්ස තරගය මෙය වන අතර ඔවුන් ඔස්ට්‍රේලියා තරග සංචාරයක නිරත වන්නේ වසර දෙකහමාරකට පසුවය. ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් අවසන් වරට 2019 වසරේ පැවැති තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3-0කින් පරාජය විය.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන විස්සයි විස්ස තරග 17කදී ශ්‍රී ලංකාව තරග 08කුත්, ඔස්ට්‍රේලියාව තරග 09කුත් වශයෙන් ජයගෙන තිබේ. ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති තරග 9කදී ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5කි. ඉකුත් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී හමු වූ අවස්ථාවද ඇතුළුව දෙරට අතර අවසන් වරට පැවැති විස්සයි විස්ස තරග පහම ඔස්ට්‍රේලියාව විසින් ජයගෙන තිබීමද විශේෂත්වයකි.

‘ඔවුන් එන්නේ ලෝක ශූරයන් හැටියට. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මීට ඉහතදී පැවැති තරග ජය පරාජයන්හි අනුපාත අපි ගණන් ගන්නේ නැහැ. අපි ගණන් ගන්නේ හෙට කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැහුණාම ඒ මොහොතේ සිදුවන දේ ගැනයි. අපේ ක්‍රීඩකයන් හොඳින් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා’යි ඊයේ (10 වැනිදා) තරගාවලිය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක කීවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10 වැනිදා) පැය දෙකහමාරක පමණ කාලයක් පුහුණු සැසියක නිරත විය. සිඩ්නි නුවරට මේ දිනවල කඩින් කඩ වර්ෂාව ඇදහැලෙන අතර අද දිනයේදීද දිවා කාලයේ ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අවදානමක් පිළිබඳව ඔස්ට්‍රේලියානු කාලගුණ වාර්තා සඳහන් කරයි.

කුසල් මෙන්ඩිස්ට කොවිඩ් වයිරසය අාසාදනය වීම හමුවේ ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා වශයෙන් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ලබයි. මේ අතර තරග තහනමෙන් පසුව පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක සමගින් ආරම්භක පිතිකරුවා වශයෙන් පිටියට පිවිසීමට නියමිතය. කලවා පෙදෙසෙහි ආබාධයක් හේතුවෙන් පළමු තරගයට සහභාගි වීම යම් අවදානමක් ගෙනදුන් වනිඳු හසරංගද අද තරගය සඳහා සූදානමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. දුෂ්මන්ත චමීරට අමතරව කණ්ඩායමේ අනෙක් ප්‍රධාන වේග පන්දු යවන්නා වශයෙන් බිනුර ප්‍රනාන්දු කටයුතු කරන බව සඳහන් වේ.

ලෝක ශූරතාව දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට බිග් බෑෂ් ලීගයේ දස්කම් දැක්වූ ජෝෂ් ඉංග්ලිස් සහ බෙන් මැක්ඩර්මෝට් අද තරගයේ ක්‍රීඩා කරනු ඇත.

අද තරගයේ ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

බෙන් මැක්ඩර්මෝට්, එරන් ෆින්ච් (නායක), ජෝෂ් ඉන්ග්ලිස්, ස්ටීව් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජෝෂ් හස්ලිවුඩ්

(Aruna)