පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින්.
මෙවර එහි තේමාව වූයේ “සෑම කෙනෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම” යන්නයි. මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බවයි එම සංවාදයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇතිවන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකියි. ඉදිරි දශක කිහිපය තුලදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.
වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්රවේශවීමට උත්සහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහය වන ලෙස ද, හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටිනවා. 2030 වසර වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත් වී, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බව ද එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
නව ගල්අගුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබාදෙන දායකත්වය පිළිබිඹු කරන්නක් බවත්, ශ්‍රී ලංකාව ගල්අගුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම - නායකයෙකු වීම ගැන සතුට පළ කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000 ක අයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං බලාගාරය ද මෑතකදී විවෘත කළ බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.
ඉදිරි දශක කිහිපය තුලදී පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සඳහා වන මහා පරිමාණ ආයෝජන ශ්‍රී ලංකාව තවදුරටත් සාදරයෙන් පිළිගන්නා බවයි එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)