Tuesday, November 05, 2024
Follow Us
සයිනොෆාම් ලංකාවේ කරන්න හදන අලුත් වැඩේ මෙන්න

ජනාධිපතිගෙන් සයිනොෆාම් සමූහයේ සභාපතිට ලිපියක්


චීනයේ සයිනොෆාම් එන්නත නිෂ්පාදනය කරන සයිනොෆාම් සමූහයේ (Sinopharm Group) සභාපති ලියූ ජින්ග්සන් එන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දැඩි උනන්දුවක් පළ කර ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලයට අනුව 2021 සැප්තැම්බර් 7 වන දින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන එම සභාපතිවරයා සහ සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමක් මුණගැසී ඇත.

ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් අඛණ්ඩව සැපයීම අගය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පෞද්ගලික ලිපියක්ද තානාපතිවරයා එහිදී සභාපතිවරයාට භාරදී තිබේ.

සභාපතිවරයා මෙහිදී පවසා ඇත්තේ සිනොෆාම් ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන අතර අඛණ්ඩව එන්නත් ලබාදීමට කටයුතු කරන බවයි. ආසියානු කලාපයේ සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවට වාසිදායක වෙළෙඳ ප්‍රවේශයක් ලබාගැනීම සඳහා එන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සභාපතිවරයා මෙහිදී මහත් උනන්දුවක් දැක්වූ බව තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මීට පෙර හම්බන්තොට ඖෂධ කලාපයේ චීනයේ සයිනොවැක් එන්නත මෙරටදී පිරවීම සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට ද අදාළ සමාගම කැමැත්ත පළකර ඇතැයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබිණි.

(Aruna)