Tuesday, November 05, 2024
Follow Us
සරණාගත බව අපේක්ෂා කරන ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට සහන සලසන්න - මාධ්‍ය සංවිධාන ඉල්ලයි

තලේබාන් සංවිධානය විසින් යළි බලය අත්පත් කරගත් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය නිදහස ඇතුළු සියලු අයිතීන් අහිමි වෙමින් තිබෙන බවත් මේ නිසා එරට මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන්ගේ ජීවිත බරපතල අවදානමකට ලක්ව ඇති බව මෙරට ජනමාධ්‍ය සංවිධාන පවසනවා.

එම සංවිධාන ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ ජීවිත අවදානමට ලක්ව ඇති‍, සරණාගතභාවය අපේක්ෂා කරන ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකාව වසර කිහිපයක් තිස්සේ සරණාගත බව අපේක්ෂා කරන පිරිස් වෙත ප්‍රවේශය සහ රැකවරණය ලබා දී ඇති බවත් පසුගිය කාලය තුළ ඇෆ්ගන් ජාතිකයන් 170ක් ඇතුළු 1300 කට ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ රැකවරණය ලැබී ඇති බවත් මාධ්‍ය සංවිධාන සිහිපත් කරනවා.

මෙම යහභාවිතාවට ශ්‍රී ලංකාව එළඹ සිටින්නේ, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග 2005 වසරේ දී රජය අත්සන් කළ අවබෝධතා ගිවිසුම සහ 2006දී එකඟ වූ යොමු කිරීමේ අනුඋපදේශ (TOR) නිසාය. මෙම එකඟතාවන් ඇති වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කළ කාලයේදීය. ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා රාජ්‍යයට සරණාගත ජනයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රායෝගික ව්‍යුහයක් හා දැක්මක් ඇත.

මෙම ලිපිය සඳහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය හා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අත්සන් තබා තිබෙනවා.

(LNW)