Tuesday, November 05, 2024
Follow Us
වසරක් තුළ දෙවැනි වරටත් ජපාන අගමැති පුටුව හිස් වෙයි - සුගා ගෙදර යන්න සූදානම්

ජපාන අග්‍රමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා, යළිත් පක්ෂ නායකත්වයට පත්වීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සැප්තැම්බර් 29 වැනිදා සිදු කිරීමට නියමිතය.

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක්ත‍වයෙන් ඉවත් වීම යනු ඔහුට අගමැති තනතුරටද සමුදීමට සිදුවීමයි. ඒ අනුව පක්ෂ නායකත්වයට පත්වන පුද්ගලයා ජපාන අගමැති තනතුරටද පත්වනු ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතු මත තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව යොෂිහිඩේ සුගා මහතා අගමැති තනතුරට පත් විය. කෙසේ නමුත් වසරක් ඉක්ම යද්දී ඔහුට අගමැති තනතුර එපා වී තිබෙනවා.

අගමැතිවරයාගේ තීරණය ප්‍රකාශයට පත් කරමින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහ ලේකම්වරයා මාධ්‍යයට පවසා තිබෙන්නේ සිය නායකයාගේ තීරණය සම්බන්ධයෙන් පුදුමයට පත් වූ බවයි. ඔහු අගමැතිවරයා ලෙස සිය උපරිමය සිදුකළ බවත්, කෙසේ නමුත් ඔහුගේ තීරණයට පක්ෂය එකඟ වන බවත් ලේකම්වරයා පවසා තිබෙනවා.

කොවිඩ් වසංගතය පාලනය කිරීමට සුගා අගමැතිවරයා අසමත් වූ බව බහුතර ජපන් වැසියන්ගේ විස්වාසය වන අතර අගමැතිවරයාගේ තීරණයට මෙය ප්‍රබල හේතුවක් වී තිබේ. වසංගත තත්වය මැද ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීමට සමත් වූ නමුත් ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ජපන් වැසියන් සැළකිය යුතු ප්‍රමාණයක් තවමත් සිටී.

මේ වනවිට යළිත් වසංගත තත්වය ජපානය තුළ උත්සන්න වෙමින් පවතිනවා. එරටින් මෙතෙක් වාර්තා වන ‍සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවා ඇති අතර එන්නත්කරණය ඉතා මන්දගාමී බවයි ඇතැම් ජපන් වැසියන් පවසන්නේ.

1996 වසරේ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ යොෂිහිඩේ සුගා මහතා 2005 වසරේ සිට ජුනිචිරෝ කොයිසුමි සහ ෂින්සෝ අබේ අගමැතිවරුන් යටතේ ප්‍රබල ඇමති ධුර රැසක් දරා තිබෙනවා.

(LNW)