ලෝක සෞඛ්‍ය සංවිධානය ‘මු’ පසු පස
‘මු’ (Mu) නමින් හඳුන්වා ඇති තවත් අලුත් කොරෝනා වයිරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමු වී තිබේ.
මෙම ප්‍රභේදයද වේගයෙන් පැතිරීමේ හැකියාව ඇති, එන්නත්වලින් සහ වයිරසය වරක් ආසාදනය වීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය ඉක්මවා යා හැකි දරුණු ප්‍රභේදයක් විය හැකි බවට සැක කෙරේ.
කෙසේ නමුත් මේ පිළිබඳව ස්ථිර වශයෙන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම වයිරස ප්‍රභේදය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ B.1.621 යනුවෙනි. අවධානයට ලක් විය යුතු වයිරස ප්රභේදවල ලැයිස්තුවට ලෝක සෞඛ්‍ය සංවිධානය එය ඇතුළත් කළේ පසුගිය 30 වැනි දිනය.
2021 ජනවාරි මාසයේ මෙය මුලින්ම වාර්තා වී ඇත්තේ දකුණු ඇමරිකානු රටක් වන කොලොම්බියාවෙනි. නමුත් මේ වනවිට එය රටවල් 39ක පැතිර ඇති බව සඳහන්ය. ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ රටවල් කිහිපයක්ද, ආසියාවේ හොංකොං කලාපයද ඊට ඇතුළත්ය.
මූලික පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ මෙම ප්‍රභේදයේ ලක්ෂණ මෙයට පෙර දකුණු අප්‍රිකාවෙන් සොයාගත් බීටා ප්‍රභේදයේ ලක්ෂණවලට යම් සමානකමක් දක්වන බවය. මේ වනවිට විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් මහත් කුතුහලයෙන් පසුවන්නේ මෙම ප්‍රභේදය මේ වනවිට ලෝකයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක ප්‍රභේදයක්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහාය.
(Aruna)