Tuesday, November 05, 2024
Follow Us
කොළඹ ඉඩම් පවරා ගන්න ඕමානයේ සමාගමක් උනන්දුවෙන්

දීර්ඝ-කාලීන බදු ක්‍රමය යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය මත දේශීය සහ විදේශීය ආයෝජකයන් රට තුළට ආකර්ෂණය කර ගැනීම හරහා මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන කටයුතු කිරීමෙහි ලා රජය යොදා ඇති වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස කොළඹ පිහිටි වටිනා ඉඩකඩම් 17 ක් ආයෝජකයින් වෙත ලබා දීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට අවසාන වෙමින් පවතී.

ඕමානයේ සමාගමක් වන ෂමූක් ආයෝජන සහ සේවා (Shumookh Investment and Services - SAOC) සමාගම විසින් මෙවන් ඉඩම් දෙකක් අයත් ගැනීම සඳහා සිය උනන්දුව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, කොළඹ පිහිටා ඇති චාමර්ස් ග්‍රැනරි ඉඩම හා ගුවන් හමුදා මූලස්ථානය අයත් ගැනීම සඳහා අදාළ ඕමාන සමාගම සිය උනන්දුව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම සමාගම කොළඹ හිල්ටන් හෝටලය සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GOH) ලබා ගැනීමට ද උනන්දුව ප්‍රකාශ කර ඇති බවටයි නාගරික සංවර්ධන අධිකාරියට සමීප ආරංචිමාර්ග පවසා සිටියේ.

ඉහත දැක්වූ රජයේ මහා පරිමාණ සංවර්ධන කටයුතු ව්‍යාපෘති දාමය යටතේ දීර්ඝ කාලීන බදු පදනම සඳහා කොළඹ පිහිටි මෙම ඉඩම් හා දේපළ මැනීම හා තක්සේරු කිරීම දැන් සිදු වෙමින් පවතින බවට වාර්තා වෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචිමාර්ග තවදුරටත් පවසා සිටියේ මීට අදාළ ක්‍රියාකාරකම් සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් නම් ආයතනයේ විශේෂ ක්‍රියාවලියක් හරහා සිදුවන බවත්, එමඟින් රජය ප්‍රයෝජනයට නොගත්, කාර්යක්ෂමතාවයෙන් අඩු වත්කම් අත්පත් කර ගෙන ශක්‍ය සංවිධාන බවට පත්කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත් ය.

ඒ අනුව, සියයට 51 ක මෙම කොටස් රජය සන්තකයේ තබාගනිමින් සියයට 49 ක කොටස් කොටස් වෙළඳපළේ ලැයිස්තු ගත කරනු ඇත.

ඕමාන ෂමූක් ආයෝජන සහ සේවා සමාගම විසින් මේ වන විට ඉඩම් දෙකක් සඳහා උනන්දුව ප්‍රකාශිත ලිපි (EOI) යොමුකර ඇති අතර, ඒ අනුව කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ඇත.

ෂමූක් ආයෝජන සහ සේවා සමාගම යනු ඕමාන රජය සතු පොදු කාර්මික පුර ඉදිකිරීමේ (Public Establishment for Industrial Estates) වැඩසටහනේ ආයෝජන පිළිබඳව කටයුතු කරන ආයතනයයි.

මෙගාවොට් 100 ක සූර්ය ශක්ති අංගනයක් සියඹලාන්ඩුවේ ඉදිකිරීම සඳහා යෝජිත ව්‍යාපෘති යෝජනාවක් ද මෙම සමාගම විසින් ශ්‍රී ලංකා රජයට ඉකුත් මස යොමු කර තිබේ.

කොළඹ කොටුව හෙරිටේජ් චතුරස්‍රයේ ආයෝජන කළඹ ලෙස වර්ගීකරණය කොට ඇති දේපළ වලට, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සහ යෝක් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, කොළඹ හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයට්, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය, ආරක්ෂක අමාත්‍යංශයේ සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය සහ යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය ඇතුළත් ය.

මීට අමතරව, සී නෝර් අවන්හල සමඟ ඩීආර් විජේවර්ධන මාවත, වෝටර්ස් එජ් හෝටලයට අදාළ මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය, යාපනයේ කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ පොලිස් මූලස්ථානය නිශ්චල දේපල සංවර්ධන ආයෝජන කළඹ ලෙස වර්ගීකරණය කර ඇත.

(LNW)