Wednesday, October 30, 2024
Follow Us
ජිනීවා සමුළුවේදී සහය දෙන්නැයි ඉන්දියාවෙන් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි ඉන්දියාවේ එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කරයි.

එම වාර්තාවන්ට අනුව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා විදේශ ලේකම් ජයනාත් කොළඔගේ උපුටා දක්වමින් ඉන්දීය වාර්තා පෙන්වා දී ඇත්තේ මෙලෙස ලිපි යොමු කිරීම මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයේ කොටසක් බවයි.

‘‘අපි පළමුවෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයා අනෙක් සාමාජික රටවල තානාපතිවරුන් හමු වූ විට එම රටවල නායකයන් වෙත යොමු කිරීම සඳහාද ලිපි ලබා දෙනු ඇති’’ යැයි විදේශ ලේකම්වරයා පවසා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් හා වගවීම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටින්ග්‍රෝව ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ (24 වැනිදා) මානව හිමිකම් කවුන්සියෛ් 46 වැනි සැසිවාරය වෙනුවෙන් න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරිණි. ශ්‍රී ලංකාව සාමාජික රටවලින් සහයෝගය ඉල්ලා ඇත්තේ මෙම යෝජනාවලිය පරාජයට පත් කිරීම සඳහා බවද ඉන්දීය ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(Aruna)