විදේශවලින් දරුවන් හදාවඩා ගැනීමට ලබාගැනීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට නෙදර්ලන්තය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධ අපයෝජන රැසක්, නිල පරීක්ෂණයකදී හඳුනාගැනීම මෙම පියවර ගැනීමට හේතුවී ඇත.
ශ්‍රීලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1988 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි එම විමර්ශනයෙදී අවධානය යොමු කර තිබිණි.
එම කාර්යය සම්බන්ධයෙන් මැදිහත්වීමට නෙදර්ලන්ත ආණ්ඩුව වසර ගණනක් අපොහොසත් වී ඇති බව දේශීය ආරක්ෂාව පිළිබඳ ඇමති සැන්ඩර් ඩෙකර් පැවසීය.
සිය දරුවන් අත්හැරීමට එම දරුවන්ට උපත දුන් මව්වරුන්ට බලකිරීම හෝ මුදල් ගෙවීම ද එම අපයෝජනවලට ඇතුළත්ය.
අල්ලස් ලබා ගත් බවට සාක්ෂි හමු නොවුවත්, නෙදර්ලන්ත රජයේ නිලධාරීන් මෙම වැරදි ගැන දැන සිටි බවත් සමහරුන් අපයෝජනයන්ට සම්බන්ධ බවත් විමර්ශන කමිටුව සොයා ගැනින.
"වසර ගණනක් පුරා ඉවත බලා සිටීමෙන්" නිලධාරීන් මේ සම්බන්ධයෙන් අසමත්ව ඇතැයි ඩෙකර් සඳහන් කළේය.
"ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන දේ ඉෂ්ට කරන්න ආණ්ඩුව අසමත්වෙලා, අපයෝජන වැළක්වීම සම්බන්ධයෙන් වඩා සක්‍රීය භූමිකාවක් ඉටු කළ යුතුව තිබුණා. එය වේදනාකාරී නිරීක්ෂණයක්. මේ සඳහා සමාව ඉල්ලීමක් කෙරෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය වෙනුවෙන්, එසේ හදාවඩා ගැනීමට පත්වූවන්ගෙන් අද මම සමාව ඉල්ලනවා." ඔහු කියා සිටියේය.
තමන්ට උපත දුන්, ඉන්දුනීසියාවේ හිඳින දෙමාපියන් සොයන නෙදර්ලන්ත කාන්තාවක් බීබීසී සමග පැවසුවේ ආණ්ඩුවේ මෙම තීරණය අගය කරන අතර පවතින ක්‍රමය දරුවන් ජාවාරමට දිරි දෙන්නක් බවය.
"නෙදර්ලන්තයේ පවතින රටවල් අතර දරුවන් හදාවඩා ගැනීම මුල්‍ය දිරිගැන්වීම් ක්‍රමයක් පදනම් කරගෙන තිබෙන අතර එයින් ජාවාරම්වලට රුකුල් දෙනවා," යැයි 45 හැවිරිදි විද්‍යා අස්තුති බොඑර්මා කීවාය.
"අද වන විටත් රටවල් අතර දරුකමට හදාවඩා ගැනීමට දරුවෙකු සෙවීම දරුකමට හදාවඩා ගැනීමට තවමත් සොයන දෙමාපියන් ගේ අවධානය යොමු කර ඇත. මෙය ඇත්ත වශයෙන්ම අනෙක් පැත්ත විය යුතුය." යනුවෙන් ඇය පැවසීය.
ඉන්දුනීසියාව විසින් මෙම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් තහනම් කෙරුණත් 1984 වන තෙක් දශකයක් පුරා ඉන්දුනීසියානු දරුවන් 3,000 ට වැඩි පිරිසක් නෙදර්ලන්ත ජාතිකයින් විසින් හදාවඩා ගැනීමට ගෙන ඇති බව බීබීසී ඉන්දුනීසියානු සේවයේ ජෙරොම් වීරවන් වාර්තා කරයි. ඕලන්ද පෙරදිග ඉන්දීය දුපත් ලෙස අතීතයේ හැඳින්වුණු ඉන්දුනීසියාව 1945 දී නෙදර්ලන්තයෙන් නිදහස ලැබීම ප්‍රකාශයට පත් කළේය.
නෙදර්ලන්තයේ ඉහළම සිවිල් නිලධාරියෙකු වන ට්ජිබ්බේ ජුස්ට්‍රා ගේ නායකත්වයෙන් යුතු විමර්ශන කමිටුවේ අවධානයට ලක්වූ 1967-1988 කාලයට පෙර හා පසු වැරදීම් රැසක් සිදුව ඇති බව කමිටුව විසින් නිගමනය කරනු ලැබිණි.
පවතින ක්‍රමය තවදුරටත් වංචාවලට ඉඩකඩ සලසන්නක් වන අතර "වර්තමානය දක්වා ම" අපයෝජන සිදුවන බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.
විදේශවලින් දරුවන් හදාවඩා ගැනීමට ලබාගැනීම කෙසේ ක්‍රියාත්මක කළ යුතුදැයි අනාගත කැබිනට් මණ්ඩලයක් විසින් තීරණය කරනු ලැබිය යුතු බව අමාත්‍ය ඩෙකර් පැවසීය.
දරුකමට හදාවඩාගත් පුද්ගලයින් හට තමන් බිහිකළ මාපියන් සොයාගැනීමට උපකාරී වන මිජ්න් රූට්ස් පදනමේ (Mijn Roots Foundation) සමාරම්භක අනා ෆන් වලෙන් පවසන පරිදි හදාවඩා ගැනීම් සඳහා සකසන ලද ලේඛනවල එක ම මවගේ නම ලේඛන එකකට වැඩි ප්‍රමාණයක් සඳහා ඇතුළත්ව ඇති අයුරු හඳුනාගෙන ඇති බවකි.
"දරුවන් මාරු කර ඇති බවක් හෝ සපයා ඇති තොරතුරු වැරදියැයි අප සැක කරනවා," යැයි ඇය සඳහන් කළාය.
මිජ්න් රූට්ස් පදනමේ දත්ත අනුව, 1981 - 1992 අතර කාලය තුළදී නෙදර්ලන්ත යුවළ විසින් හදාවඩා ගැනීම සඳහා දරුවන් ලබාගන්නා ලද ප්‍රධාන රටවල් පහත සඳහන් පරිදි වේ:
බීබීසී ඉන්දුනීසියා සේවෙයේ අයෝමි අමින්දෝනි ජාකර්තා සිට ලියයි:
ඉන්දුනීසියාවෙන් දරුකමට හදාවඩා ගැනීමට ගන්නා ලද පුද්ගලයින්, අතීත අසමත්කම් සම්බන්ධයෙන් නෙදර්ලන්ත ආණ්ඩුව සමාව ඉල්ලීම අගය කළ ද, ඔවුන් පවසන්නේ එය අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පළමු පියවර බවය.
වයස අවුරුදු 5 දී එසේ නෙදර්ලන්ත යුවළක් අතට පත් විද්‍යා අස්තුති බොඑර්මා දශක ගණනක් පුරා සිය දෙමාපියන් සෙවුවාය. අසත්‍ය ලේඛන මෙන්ම සිය මව යැයි තැබූ බලාපොරොත්තුව මත කාන්තාවන් සම්බන්ධයෙන් කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකක ප්‍රතිඵල අසතුටුදායක වීම හේතුවෙන් ඇයට මෙය ඉතා වේදනාකාරී හා අසීරු වැඩපිළිවෙලක් විය.
මාව හදාවඩාගත් දෙමාපියන්ට, සිදුවූයේ කුමක්ද යන්න නොකීම සම්බන්ධයෙන් මම නෙදර්ලන්ත ආණ්ඩුවට දොස් පවරනවා. මම දරුවන් ජාවාරමක ගොදුරක් වන්නට ඇති බව හෝ මා පිළිබඳ ලේඛන ව්‍යාජ ඒවා හෝ විය හැකි බව ඔවුන්ට කියා නැහැ." යැයි ඇය කීවාය.
"මාව හදාවඩාගත් දෙමාපියන්ට තිබෙන්නේ වරදකාරී හැගීමක්, ඒ ඉන්දුනීසියාවේ මවකගෙන් ඇගේ අකමැත්තෙන් දරුවෙක් රැගෙන ගොස් තිබෙන්නට ඇතැයි යන්න ගැන. එය ඔවුන්ගේ උවමනාව වී තිබුණේ නැහැ."
දරුකමට හදාවඩාගත් තවත් ඉන්දුනීසියානුවකු මෙන්ම නීතිඥවරියක ද වන දේවි ඩෙයිජ්ලේ විශ්වාස කරන්නේ මේ සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් කළ යුතු බවය. "මම හිතන විදිහට නීතිවිරෝධී ආකාරයෙන් ඉන්දුනීසියාවෙන් දරුවන් හදාවඩාගැනීමට ගැනීම නැවැත්වීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත ආණ්ඩුව සැලකිල්ලක් දක්වා නැහැ," ඇය පවසන්නීය.
සිය ජීව විද්‍යාත්මක දෙමාපියන් සෙවීම වට රවුමක ඇවිදින්නාක් මෙනැයි දේවි පැහැදිලි කරන්නීය. "ඒක කණස්සලු සහගතයි, මොකද කීවොත් කොහේ හෝ තැනක මට උපත දුන් කාන්තාවක් සිටිනවා."
මෙම කාන්තාවන් දෙදෙනාම යම් දිනෙක සිය දෙමාපියන් හමුවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පසුවන්නාහ.
"අපට අතහැරුණු වසර ගණන හෝ නැවත එකට ගත කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒක තමයි මගේ අවසාන කැමැත්ත," යැයි විද්‍යා පැවසුවාය.
(BBC)