Saturday, November 09, 2024
Follow Us
ඉන්ධන මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක කරනවා - භාණ්ඩාගාර ලේකම්

ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීමට රජය කටයුතු කරන බවට තොරතුරු වාර්තා කරයි.

මීට පෙර වත්මන් රජය ප්‍රකාශ කර තිබුණේ පසුගිය රජය විසින් හඳුන්වා දී තිබූ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට කටයුතු කරනා බවයි.

ද සන්ඩේ මෝර්නිංග් (බිස්නස්) පුවත්පත පළ කර වාර්තාවකට අනුව, පසුගිය ජනවාරි පළමු වන දින භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීම පිළිබඳ අදහස් පළ කර ඇත.

ඒ අනුව, ඉන්ධන මිළ නියාමනය කිරීම සඳහා මිළ සූත්‍රයක අවශ්‍යතාව පවතින බවත්, ඒ අනුව හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රය මේ මොහොතේ භාවිතා වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

 


කෙසේවෙතත් මෙම ප්‍රකාශය විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය නොවැම්බර් මග අග හා දෙසැම්බර් මස මුල ප්‍රකාශ කළ අදහස් වලට හාත්පසින්ම පරස්පර බව මින් පෙනී යයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගිය නොවැම්බර් 26 දින මාධ්‍ය හමුවීමක් කැඳවා ප්‍රකාශ කර සිටියේ පැවති රජය විසින් හඳුන්වා දී තිබූ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අවධානය මේ පිළිබඳව යොමු වී ඇති බවත් ය.

ඊට සමානව පසුගිය දෙසැම්බර් මස 03 වන දින කැඳවූ මාධ්‍ය හමුවකදී අමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට රජය කටයුතු කරන බවටත්, මේ සඳහා අදාල කැබිනට් පත්‍රිකාව යොමුවීමට නියමිත බවත් ය.

 


ඒ අනුව, මිළ පාලනය කිරීමක් සිදුවනු ඇති බවත් ජනතාවට ඉන්ධන මිළ පිළිබඳ බරක් පැටවීමෙන් වැළකී සිටීමට රජය කටයුතු කරනු ඇති බවටත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

කෙසේවෙතත්, ඉන්ධන මිළ සූත්‍රය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා ද සන්ඩේ මෝර්නිංග් පුවත් පතට පළ කොට ඇති අදහස් මීට හාත්පසින්ම වෙනස් බව මින් පෙනී යයි. මේ පිළිබඳ අමාත්‍යවරයා ගෙන් කළ මත විමසුමක් ද නිශ්ඵල වූ බවට එම පුවත් පත වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳ විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක මහතා ගෙන් කළ මත විමසුමක දී ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ අදාල මාධ්‍ය කැඳවීමෙන් පසු ඉන්ධන මිළ පිළිබඳ අවධානයක් යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු නොකළ බවයි.

ඒ අනුව, ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් නොපැවති බවත්, ඉදිරියේදී එවන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් හෙතෙම අවධාරණය කොට තිබේ.

 


මේ අතර, භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා එම පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ පසුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිළ සූත්‍රය අළුත් සංකල්පයක් නොවන බවයි. එම සූත්‍රය භාණ්ඩාගාරය තුළ ගතවූ දශක දෙකක පමණ කාලය තුළ භාවිතයට ගත් බවට හෙතෙම අවධාරණය කොට ඇත.

එසේ නොවන්නට ඉතිහාසය තුළ ඉන්ධන මිළ යාමනය කිරීම පහසු කටයුත්තක් නොවීමට ඉඩ තිබූ බවද ආටිගල මහතා අනාවරණය කර ඇත.

ඔහුට අනුව, ඉන්ධන මිළ සූත්‍රය වර්තමානය වන විටත් යාවත්කාලීනව පවතින අතර, අදාල බදු පැනවීම් මත යම් යම් සංශෝධන සහිතව පවතින්නට ඇත. පසුගිය රජය විසින් සිදු කරන ලද්දේ එකී සූත්‍රය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමක් පමණක් බවද හෙතෙම පවසා ඇත.

 


කෙසේවෙතත්, ඉන්ධන මිළ සම්බන්ධව වත්මන් රජයේ විෂය භාර අමාත්‍යංශය විදුලි බල, බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යංශය වූවද, ඉන්ධන මිළ සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ පසුගිය රජයේ මුදල් අමාත්‍යංශය විසිනි. ඒ අනුව බලන කළ මෙකී අමාත්‍යංශ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට ආටිගල මහතා ගේ අනාවරණය සමත් ව තිබේ.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් ව තිබෙන්නේ පවතින ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කර දමන බවට ය. කෙසේ වෙතත්, ජනපතිවරයා වත්මන් තත්ත්වය පිළිබඳ තවමත් සිය මතය පළ කොට නොමැත.

අදාල ඉන්ධන මිළ සූත්‍රය ඉදිරිපත් වී තිබුණේ 2018 මැයි මාසයේදීය. ප්‍රකාශයට පත් කරන ලද්දේ එම වසරේම ඔක්තෝබර් මාසයේ දී ය. ඉන්ධන ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදුකරණය මත පදනම්ව තාක්ෂණික කමිටුවක් විසින් මිල සූත්‍රය නිර්මාණය කළ අතර, එය “උපරිම සිල්ලර මිල (MRP) = V1 + V2 + V3 + V4” ලෙස ප්‍රකාශයට පත්වන ලදී.

මූළාශ්‍රය - ද මෝර්නිංග් (LNW)