Saturday, October 19, 2024
Follow Us
වසර දෙකක් එක හාල් ඇටයක්වත් පිටරටන් ගෙනත් නැහැ

2023 හා 2024 වසරවල දී හාල් ඇටයක්වත්  පිටරටින් ආනයනය නොකළ බවත්  2023 වසරේ සිට අපේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ අපේම රටේ වගා කළ සහල් බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීම සම්බන්ධයෙන්  ඊයේ (11)   වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති වැඩසටහනේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 

'' රජයට අයත් පොහොර සමාගම් දෙක අද එක් ආයතනයක් බවට පත් කළා. මේ සමාගම් දෙකේ හිටපු සේවකයින් 400 ගණනක් අතරින් 273 දෙනෙක් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගියා. ඒ අයට මෙතෙක් ඉතිහාසයේ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් ඉහළම වන්දිය අපි ලබා දුන්නා.  සේවා කාලය හා තනතුරු අනුව රුපියල් ලක්ෂ 09 සිට රුපියල් ලක්ෂ 89ක් දක්වා විශාල වන්දි මුදලක් ඒ අයට ලැබුනා.

පොහොර වැඩපිළිවෙළ ශක්තිමත් කළේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. 2021 පොහොර අර්බුදය නිසා ගොවි ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. නමුත් අපි නැවතත් රසායනික පොහොර ලබා දීමට පියවර ගැනීම නිසා මේ වනවිට අපි සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොර අර්බුදය විසදීමට ගත් පියවර නොවන්නට මේ රටේ සහල් කිලෝවක මිල රුපියල් 500ට වඩා වැඩිවන්නට ඉඩ තිබුනා. නමුත් 2023 වසරේ සිට අපේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ අපේම රටේ වගා කළ සහල්. ''