Saturday, January 11, 2025
Follow Us
ආර්ථික අභියෝග ජය ගැනීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් බිහිකළ යුතුයි

රටේ සංවර්ධනයත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනඟා ගත යුතු බව ශ්‍රී ලංකා නවෝත්පාදන හා ව්‍යවසායකත්ව පර්ෂදයෙහි සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව වේගත් ආර්ථික දියුණුවක් ඇති කරගත් රටක් වීමට සහ ජනතාවගේ ආදායම් ඉහළ තත්ත්වයක් උදාකිරීම සඳහා කළ යුතු අනාගත ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කරමින් ආචාර්යවරයා එසේ කියා සිටියි.

ශ්‍රී ලංකාව නවීන තාක්ෂණය හා බැඳුණු කලාපීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරව පිළිගත් නව නිපැයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනඟා ගැනීම සිදුකළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

දැනට මැදපෙරදිග රටවල්වලට වැඩි වශයෙන් ගෘහ සේවිකාවන් ලෙස ගොස් සිටින මෙරට කාන්තාවන් එතුළින් උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට හැකි අංශයක් ලෙස අප තොරතුරු තාක්ෂණ අංශය පත්කර ගත යුතුයි. මේ අංශයේ දියුණු කිරී‍ම් තුළින් වසර 2025 වනවිට අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක අපනයන වටිනාකමක් ගොඩනඟා ගැනීමට හැකි වේ.

අප රටේ සිටින මෘදුකාංග ඉංජිනේරුවන්ගේ software Engineers සංඛ්‍යාව වසර 2025 වනවිට ලක්ෂ 3 ක් දක්වා වැඩි කර ගැනීමටද අප කටයුතු කළ යුතු වේ. එපමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගැළපෙන මෘදුකාංග සකස් කරන ව්‍යවසායකයින්ට අවශ්‍ය සියලු දිරිගැන්වීම් ලබාදිය යුතු වේ.

ශ්‍රී ලංකාව මුහුණදෙන විදේශ විනිමය අර්බුදය ජයගැනීමට නවෝත්පාදන හා නව සොයාගැනීම් හා බැඳුණු ව්‍යවසායකත්වයක් ගොඩනඟා ගන්නා අතර, ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් බිහිකිරීමට ගන්නා පියවර වේගවත් කළ යුතුය.

විසි එක්වන සියවසේ ජීවත්වෙන අප දැනුම කේන්ද්‍රීය සමාජයක් නිසා රටේ කෘෂිකර්මය කර්මාන්ත සේවා යන සෑම අංශයකම දියුණුවට නව තාක්ෂණය බද්ධ කළ යුතු වේ.

අන්තර්ජාලය ආශ්‍රිතව බිහි වූ උපාංග, කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය මෙන්ම ත්‍රිමාන මුද්‍රණය 3D Printing වැනි තාක්ෂණයන් භාවිතය උපරිමයට ගෙන ආ යුතු වේ.

ලෝකයේ මේ වනවිට කතාබහට ලක්වන නවතම වෘත්තිය වනුයේ තොරතුරු තාක්ෂණය හා බැඳුණු කොන්ටර්ම් පරිගණක විද්‍යාඥයින් බිහිකිරීම පිළිබඳවය. ඒ අනුව ආසියාවේ අප මුලින්ම මෙම විද්‍යාඥයින් බිහිකිරීමට දැන් සිටම අඩිතාලම දමා පියවරගත යුතු වේ.

රටේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වේ. ඊට ඉදිරිපත් වී සිටින ජනාධිපතිධුර අපේක්ෂකයින් අතුරින් වඩාත්ම තාක්ෂණ හා නවෝත්පාදන අංශයට බලගන්වන පුද්ගලයා ජයග්‍රහණය කරවීමට මහජනතාව පියවර ගත යුතු යැයි සඳහන් කරන්නෙමු.

(Dinamina)