Wednesday, October 23, 2024
Follow Us
පොහොර මිල දී ගැනීමට රජයෙන් රු. බි. 11ක්

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

විශේෂයෙන් ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම සහනාධාරය ලබා දීමට නියමිතය. ඒ අනුව වී වගා කරන හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක මුදලකුත්, හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 40,000ක මුදලකුත් ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් තීරණය කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙම සහනාධාරය සඳහා රජයට වැය කිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 11කි. යල කන්නයේ වී වගා කරන ගොවීන් පන්ලක්ෂ පනස් දහසකට පමණ මෙම සහනාධාරය හිමිවේ.


යල කන්නය සඳහා මේ වනවිට අවශ්‍ය මඩ පොහොර ගොවි ජනතාවට නොමිලයේ ලබා දී ඇත. යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකටත්, බන්ඩි පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 4500කින් මිල අඩු කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.


මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාවට මුල්‍යමය සහනාධාරයක් ලබා දීම කෙරෙහි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කරනු ලැබීය. මේ අනුව තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන භාවිතා කළ හැකිය.

දැනට මෙම මුදල් ගොවි ගිණුම්වලට ඝෘජුවම බැර කිරීමට යෝජනා වී ඇති නිසා එම මුදල් ගොවින් විසින් දී පොහොර මිල දී ගැනීම සඳහාම භාවිතා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරයි.