Wednesday, October 23, 2024
Follow Us
සේනාගේ හානි හා වී වගා හානි ගොවීන්ට වන්දි

2021 මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තා වූ කරුණු පරීක්ෂා කර බැලීමෙන් අනතූරුව එම වගා හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ලබා දීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.


මීට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද සිදු වූ වගා හානි සඳහා වන්දි ලබාදීම අරඹා ඇති අතර එම කටයුතු පසුගිය සෙනසුරාදා ත්‍රිකුණාමලයෙන් ආරම්භ විය.

 

එහි දී ගොවීන් 13 දෙනෙකුට රුපියල් 80,000 බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 තුළ ගොවීන් 31,613කට වගා හානි සිදු වී තිබු අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934ක් වගා හානි සිදු වූ බව තහවුරු විය. එම වගා හානි සඳහා අනුමත කරන ලද මුදල රුපියල් මිලියන 657කි. එම සම්පූර්ණ මුදලම මේ වනවිට ගොවි ජනතාවට ගෙවා අවසන් කරන ලද බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී . වීරසේකර මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2021 සිදු වූ වගා හානි රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හා සමග බැඳී තිබුනත් මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් පැවතිය ද වත්මන් ජනාධිපතිතුමන් යටතේ මහා භාණ්ඩාගාරය විසින් ගොවිජන වගා හානි වන්දි සඳහා අවශ්‍ය මුදල් කිසිදු පැකිළිමකින් තොරව ලබා දුන් බව ද සඳහන් කළේය.

එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ගොවි ජනතාවගේ අස්වනු අවමවීමක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද අදාළළ ගොවි ජනතාවට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නමුත් පසුගිය මහ කන්නයේ බන්ඩි පොහොර රජය විසින් ලබා දුන්න ද ඇතැම් ගොවීන් ඒවා වගාවට යොදා නැත. ඔවුන් යොදා තිබුනේ යුරියා පොහොර පමණි.

නමුත් මෙවර යල කන්නයේ දී රසායනික පොහොර වර්ග තුන ම ගොවී ජනතාවට වී හා අනෙකුත් වගාවන් සඳහා ලබා දීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.