Wednesday, October 23, 2024
Follow Us
සිංහල අවුරුද්දට පෙර ගොවීන්ට ලැබෙන සහනය

සිංහල අවුරුද්දට පෙර වී වගා කළ සියලුම ගොවීන්ට මූල්‍ය සහනය ලබා දෙන බවත් මෙම මාසය අවසන් වීමට පෙර මඩ පොහොර බෙදා අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහකන්නයේ වී අස්වැන්න මෙට්‍රික්ටොන් 30,000ක වැඩි ප්‍රමාණයක් වූ බව පවසන අමාත්‍යවරයා ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර ලබා දීමට පියවර ගත් බවද මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

ඉදිරියේදී පොහොරවල මිල අඩු කිරීමට කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වනවිට යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000ක මුදලට ලබා දෙන බවද පැවසීය.එසේම පොහොර මිලදී ගැනීමට වවුචරයක් හෝ කූපනයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජලය ලබා දෙන දිනයේ සිට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙම වසරේ සිට ප්‍රධාන කන්න දෙකට අමතරව අතරමැදි කන්නයක් වගා කිරීමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 30,000ක මුංඇට වගාකිරීමට ගොවීන් කැමැත්ත පළ කර ඇති බවද කීය.කන්න තුනම වගා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි බවද හෙතෙම විශ්වාසය කළ කළේය.

මෙවර වී මිලදී ගැනීම දිසාපතිවරුන් හරහා සිදු කෙරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා අමතර ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ නම් මුදල් ලබා දීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බවද සඳහන් කළේය.එසේම මෙසේ රජය ලබා ගන්නා වී සහල් බවට පත් කර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කෙරේ.අස්වැන්න ලැබෙන පරිදි තවත් මාසයක් හෝ දෙකක් දක්වා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද හෙතෙමෙ වැඩිදුරටත් පැවසීය.

 

වී වගාවට අතිරේකව අනෙක් භෝග සඳහා පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ තරගකාරී මිලකට පොහොර ලබා දීමට හැකිවූ බවත් එමනිසා පෞද්ගලික අංශයේ මෙතෙක් පැවති වෙළඳ ඒකාධිකාරිය බිඳදැමීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

එසේම බීජ වී නිෂ්පාදනය ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් පශු සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩපිළීවෙලක් ආරම්භ කරන බවද පෙන්වා දුන්නේය.මෙරට දියරකිරි නිෂ්පාදනය වැඩිකිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ලබන වසරේ මෙරට දියර කිරි පරිභෝජණය සියයට 100ක් දක්වා වැඩිකිරිමට පියවර ගන්නා බවත් පැවසීය.
මේ වන විට බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් මාස දෙකක් තුනක් ඇතුළත මෙරට බිත්තර නිෂ්පාදනය වැඩිවෙන බැවින් බිත්තරවල මිල පහළ යන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.