Wednesday, October 23, 2024
Follow Us
රජයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් අගමැගෙන් නිලධාරීන්ට උපදෙස්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.


මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන්වූයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී ආයතන කිහිපයක වාර්ෂික වාර්තා අනුමත කිරීම සඳහා උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ අතර එහිදී ඇතැම් වාර්ෂික වාර්තා 2018, 2019 වර්ෂවලට අදාළ වීම පිළිබඳව අවධානය යොමු විය. වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ කාරක සභාවේ මන්ත්‍රීවරු කරුණු පෙන්වා දුන්හ. එසේම මෙසේ පැරණි වාර්තා ලබාදීම අවශ්‍ය වුවත් වඩා ප්‍රයෝජනවත් වන්නේ හැකි ඉක්මණින් අදාළ වර්ෂවල වාර්තා ලබා දීමට කටයුතු කිරීම බව ද මෙහිදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මේ අනුව අදාළ වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම කාරක සභාව සඳහා සහභාගී වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කාර්යාල වැඩි කිරීමේ අවශ්‍යතාව, ග්‍රාමසේවා වසමක් නිර්ණය කිරීමේදී සලකාබලන සාධක, රාජ්‍ය සේවය තුළ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය සහ තොරතුරු තාක්ෂණය ප්‍රගුණකිරීමේ අවශ්‍යතාවය ගැන අදහස් දැක්වූ අතර මේ පිළිබඳ විමර්ශනය කර පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නේය.
එසේම දිස්ත්‍රික්ක කිහිපයකම පවතින නගර සභා කිහිපයක් මහනගර සභා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.