Thursday, October 24, 2024
Follow Us
 මුදල් කළමනාකරණය අසීරු තත්ත්වයක - මුදල් රාජ්‍ය ඇමැති

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමනානාකරණය ඉතා අසීරු තත්ත්වයකට පත් වී ඇති  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළ අතර රජයේ වියදම් සඳහා ඇති මුදල පවා අතිශය සීමා සහිත වන බවද සඳහන් කළේය.

මෙරටට ප්‍රමාණවත් ආයෝජකයන් නොපැමිණීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කර ඇති බවත්, ආයෝජන වැඩිකරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න එතුළින් සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග ගනු ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආයෝජකයන් පැමිණිමට නම් රට දේශපාලන හා සිවිල්මය වශයෙන් ස්ථාවර තත්වයේ පැවතීම අතිශයින්ම අවශ්‍ය කාරණයක් බවත්, රටේ ආර්ථික අස්ථාවරත්වය මත ආයෝජකයන් පැමිණීම තවදුරටත් අකර්මන්‍ය කරන බවත්, රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

විදේශ ආයෝජකයන් මෙරට තුළ ආයෝජනය කිරීමට මන්දෝත්සාහී බවක් දක්වන බව තමන් අවබෝධ කරගෙන සිටින බවත්, මෙම තේරීම් කාරක සභාව පත්කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ උපරිම අවධානය යොමුවී ඇති නිසා බවත්, අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා පැවසුවේ රටකට ආයෝජකයන් ගෙන්වීම සඳහා එම රටෙහි සාර්ව ආර්ථික ස්ථාවරත්වය තිබිය යුතු බවත්, සේවා වියුක්තිය අවම මට්ටමක තිබිය යුතු බවත්ය.

රටක ආර්ථික වර්ධන වේගය, ශ්‍රමය, රාජ්‍ය මූල්‍ය තත්වය හා මුදල් ප්‍රතිපත්තිය යන සියල්ල එක්ව සිදුවන සංකලනයක වර්ධනය වීම මගින් පමණක් ණය නොවන විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමට හැකි බවත්, එම කරුණු යහපත් අන්දමින් ඇත්නම් පමණක් විවධ උපක්‍රම භාවිතා කර ආයෝජන වැඩි කරගැනීමට හැකියාව ඇති බවත්, ඒ මහතා පැවසීය.

මේ මොහොතේ පවතින තත්වය අනුව ප්‍රමුඛතාව දිය යුතු බවන්නේ රටෙහි ආර්ථික තත්වය ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම සඳහා බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ප්‍රතිසංස්කරණ උපයෝගී කරගෙන ස්ථාවර තත්වයකට පත්විය හැකි බවත්, කපිල සේනානායක මහතා තවදුරටත් පැවසීය.