Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය දුන්නා – ඉන්දීය විදේශ කටයුතු ඇමැති 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ණයහිමියන් ක්‍රියාශීලිව පියවරගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බවත්, එබැවින් අන් පාර්ශ්ශව දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවත් විදේශ අමාත්‍යවරයා කීය.

අද (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නිසැකවම වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නා බව ඉන්දියාව විශ්වාස කරන අතර, විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘත්මත් කිරීම සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක අසල්වැසියෙක් සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවත්, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘතිමත්වීම සඳහා අමතර පියවර ගණනාවක් වුවත් ඉදිරියට තැබීමට ඉන්දියාව සූදානම් බවත් ජයශංකර් මහතා පැවසීය.

ශ්‍රී ලාංකිය ආර්ථිකයට යළි ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණිම සඳහා එම ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රවන බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන සිදු කිරීමට ආ‍යෝජකයන් දිරි ගන්වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා

තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකි අතිවිශාල පුනර්ජනනීය බලශක්ති විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට එවන් ක්‍රියාවකට මුලපිරීම සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානමින් සිටිනවා. මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යන පුනර්ජනනීය බලශක්ති රාමුව පිළිබඳ අද පැවති සාකච්ඡාවලදී ද එකඟතාව පළ කෙරුණා.

මෙවන් ක්‍රියාදාමයක් ආරම්භ කීරීම සදහා උත්තේජනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ වඩා යහපත් ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කළයුතුයි. නීති සම්පාදකයින් මෙහි ඇති වැදගත්කම අවබෝධකරගනු ඇතැයි මම සිතනවා.