Thursday, October 24, 2024
Follow Us
2023 යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට මුදල් ආධාරයක්

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂීකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආධාර ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන Small Holder Agri-Business Partnership Programme – SAPP ව්‍යාපෘතිය මගින්

මෙම මුදල රසායනික පොහොර මිල දී ගැනීම, බිම් සැකසීම හා අවශ්‍ය බඩඉරිඟු බීජ මිල දී ගැනීමට ලබා දෙන සහනාධාරයක් වශයෙන් යෙදවීමට කටයුතු කරයි.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග 2023 යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සංවිධානය කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණ අවස්ථාවේ දී මේ බව අනාවරණය විය.

ඒ අනුව 2023 යල කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 30,000ක වගා කිරීමට මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම මහ කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 68,000ක වගා කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 280,000ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතය. සේනා දළඹුවාගේ තර්ජනය ඇතත් මෙම අස්වැන්න ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ අවධාරණය කළේය. එමෙන්ම වෙනත් යල කන්නවල දී බඩඉරිඟු වගා කර තිබෙන්නේ හෙක්ටෙයාර් 10,000ක තරම් සුළු ප්‍රමාණයකි. නමුත් මෙවර එම ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි ද කෘෂි අංශ අවධාරණය කළේය.

ඊට සහභාගි වූ අමාත්‍යවරයා යල කන්නයේ වී වගාවට අමතරව බඩඉරිඟු, තල, කුරක්කන්, මුං ඇට, කව්පි, උඳු හා මිරිස් වැනි අතුරු බෝග වගාවන්ට ගොවි ජනතාව උනන්දු කරවීම සම්බන්ධව සාකච්ඡා කළේය.

මුං ඇට ආනයනය කිරීම මේ වනවිට රජය විසින් තහනම් කර ඇති නිසා මුං ඇට වගා කරන ගොවීන්ට ද ආධාර මුදලක් ලබා දීමට යෝජනා විය.