Thursday, October 24, 2024
Follow Us
රා ඇතුළු දේශීය මධ්‍යසාර අපනයනයෙන් විනිමය අර්බුදයට පිළියම්

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ (12) මේ බව පැවැසීය.

දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා. විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්.

පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා (Milk Punch) කියල තවත් ජාතියකට අවසර දුන්න. ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳමක් වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දීම සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව  යුතු ආයතනවල වගකීම බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.