Thursday, October 24, 2024
Follow Us
ජනාධිපතිවරයාගේ සිට බදු අය විය යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුයි - රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.


මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.
2023 වසර සදහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (10) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.


2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී. මේ අනුව ගිය වසරට සාපේක්ෂව රු බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.


2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එම මුදල රු බිලියන 603 කි. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම් නිලධාරීහු පෙන්වා දුන්හ.


මෙම බදුමුදල් අයකරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබදව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වන ලදී. මෙම ගැටලු සමාලෝචනය කොට ඊට විසදුම් ලබා දීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.


මේ අනුව මෙම බදු අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබදව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.
ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදුඅයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුවිය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවයි.


ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද අනුමතිය සදහා කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි. ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සදහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සදහා මෙම ගැසට් පත්‍රය පළකර තිබිණි.


ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක , රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සදහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබා දීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩ ලබා දීම බවයි. එසේ නොවන විට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය.


තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සදහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.