Thursday, October 24, 2024
Follow Us
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජාතික සභා අනු කාරක සභාවේ අවධානය

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මාධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ මේ සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට එම ක්ෂේත්‍රෙය් පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදු විය.

මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650,000 ක් පමණ හා වක්‍ර රැකියාවල නියුතුවන්නන් ආසන්න වශයෙන් 700,000 ක් පමණ සිටින බවයි. නමුත් වර්තමානය වන විට ඉදිකිරීම් ක්ෂේත්‍ර කඩා වැටීමකට ලක් වී ඇති බවත් මේ නිසා මෙම රැකියාලාභීන් අර්බුදයකට මුහුණපා ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එසේම දැනට ඉදිකොට ඇති මහල් නිවාස සහ කාර්යාල වැනි ඉදිකිරීම් අළෙවි කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බවද මෙම පාර්ශ්ව පැවසූහ. තවද මේ වන විට ඉදිකොට ඇති ඉදිකිරීම්වලින් කොටසක් සඳහා රජය විසින් ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බැංකු ණය ගෙවාගැනීමට අපහසු වූ විශාල පිරිසක් සිටින බවද පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන්හ.

එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රතය හා සම්බන්ධ පුද්ගලයින් රට හැරයාමේ ප්රමවණතාවක් ඇතිවී තිබෙන බවද මෙහිදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ මෙම ගැටලු සඳහා මුදල් අවශ්‍ය වන විසඳුම්, මුදල් අවශ්‍ය නොවන විසඳුම් සහ නීතිමය විසඳුම් වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුනහොත් රටේ ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල බිඳ වැටීමකට ලක්වන බවයි. මේ නිසා කඩිනමින් මේ පිළිබඳ වූ යෝජනාවන් පාර්ලිමේන්තුවට සහ රජයට ඉදිරිපත්කිරීමට බලාපොරෝත්තු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.