ශ්‍රී ලංකාවේ සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන කර්මාන්තයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සීමාසහිත ෆාර්ම්කෙමි (පෞද්ගලික) සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධාන කළ CNCI Achievers - 2019 සම්මාන උළෙලේ දී නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ මහා පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. ගත වූ පහළොස් වසර තුළ දේශීය වෙළෙඳ පොළේ අණසක පතුරුවා සිටින ෆාර්ම්කෙමි සමාගම සිය ජනප්‍රිය සන්නාමය වන ෆාර්ම්ස්ටාර් නිෂ්පාදන, පශු වෛද්‍ය පෙර මුසු සහ සත්ත්ව ආහාර අතිරේක සමගින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට ද ප්රවිශ්ට විය. ඉන්දියාව, උගන්ඩාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ 2018 සිට ෆාර්ම්කෙමි නිෂ්පාදන අලෙවි කෙරේ.
උසස් ප්‍රමිතිය කෙරෙහි විශේෂයෙන් උනන්දු වන ෆාර්ම්කෙමි ISO 9001:2015 සහ WHO GMP යන තත්ත්ව සහතික දිනූ එකම ශ්‍රී ලාංකීය සත්ත්ව සෞඛ්‍ය හා ඖෂධ නිෂ්පාදන ආයතනය වේ. ෆාර්ම්කෙමි සමාගමේ අංග සම්පූර්ණ කර්මාන්ත සංකීර්ණයට අමතරව අපනයන නිෂ්පාදන උදෙසා ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් ISO 9001:2015, GMP+ සහ FAMI QS යන තත්ත්ව සහතික දිනූ කර්මාන්ත ශාලාවක් ද පිහිටුවා ඇත. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා - 2013 කුසලතා සම්මානය, කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ 2014 කෘෂි ව්‍යාපාර සම්මාන උළෙලේ රන් සම්මානය, APEA 2014 සම්මාන උළෙලේ නැඟී එන ව්‍යවසායක සම්මානය ෆාර්ම්කෙමි සාර්ථකත්වයට සාක්ෂි දරයි. උදිත වනිගසිංහ මහතා සේවකයන් තිදෙනකුගෙන් යුතුව 2002 ජූලි මාසයේ දී සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන ආනයනය කර බෙදාහරින සමාගමක් ලෙස ඇරැඹූ ෆාර්ම්කෙමි සමාගම ඉතා කෙටි කලකින් සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන ක්ෂේත්රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත් වූයේ ගොවිපොළ ගැටලු හා අවශ්‍යතා කල් තියා හඳුනා ගැනීමටත් ඒවාට විසඳුම් සෙවීමටත් වනිගසිංහ මහතා තුළ පවතින උනන්දුව හා කැපවීම නිසා ක්ෂේත්රයේ පාරිභෝගික විශ්වාසය දිනා ගන්නට හැකි වූ බැවිනි.
(Dinamina)