Thursday, October 31, 2024
Follow Us
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම වසර පුරා සිදුවිය හැකියි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම මෙම වසර පුරා අපේක්ෂා කළ හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා කෙටි කාලීනව ගත හැකි ක්‍රියාමාර්ග නොමැති බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

පවත්නා තත්ත්වයෙන් මිදීම සඳහා විදෙස් රටවලින් ආධාර ලබාගැනීමට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීම වඩාත් යෝග්‍ය වන බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ.

රුපියල දිගින් - දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙහිදී කරුණු පැහැදිලි කළා.

මේ අතර ඩොලරයේ අගය රුපියල් 200 ඉක්මවා යාම පිළිබඳ රජය විසින් සැලකිලිමත් වී ඇති බවයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ. මෙය තාවකාලික සිද්ධියක් බවද ඔහු පැවසුවා.
නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රටේ ඇති සංචිත ප්‍රමාණය රුපියලේ අගය පවත්වා ගැනීමට මූලික සාධකයක් බවයි. රටේ සංචිත වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් අනුගමනය කරමින් ඇති බවද තවත් නොබෝ දිනකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කිරීමට හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් පැවසුවා.

(Neth)