Friday, November 01, 2024
Follow Us
සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර තිබූ සමාගම් 6 ක කොටස් ආයෝජන සම්පූර්ණයෙන්ම විකුණයි

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සමාගම් 6 ක කොටස් ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වේ. ඒ අනුව අරමුදල විසින් ඒසීඑල් ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, කෙමෙනෙක්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ මල්වත්ත වැවිලි සමාගමේ ඡන්ද බලය හිමි හා නිෂ්ඡන්ද කොටස් මෙන්ම සෙලාන් ඩිවලොප්මන්ට්ස් යන ආයෝජනය සම්පූර්ණයෙන්ම 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී විකුණා දමා ඇති බව වාර්තාවේ.

තවද සේවක අර්ථසාධක අරමුදලේ වාර්තා පවසන්නේ මෙම කාර්තුව තුළ දී නව ආයෝජන ලෙසින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් 4,173,801 ක් මිල දී ගැනීමට අරමුදල කටයුතු කර ඇති බවයි.

අරමුදල විසින් ආයෝජනය කර තිබූ ඩර්ඩන්ස් රෝහල් සමාගමේ කොටස් 250,906 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් 1,750,609 ක්, හේලීස් පීඑල්සී හි කොටස් 2,387,818 ක් සහ නවලෝක රෝහල් සමාගමේ කොටස් 2,001,775 ක් විකුණා දැමීමට ද පසුගිය කාර්තුව තුළ දී කටයුතු කර ඇති බව එම වාර්තා සඳහන් කරයි.

සේවක අර්ථසාධක අරමුදල නිකුත් කර ඇති වාර්තා වලට අනුව 2020 සැප්තැම්බර් 30 දිනට අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක ආයෝජනය කර තිබූ අතර 2020 දෙසැම්බර් 31 අවසානයේ දී වාර්තාවල සනිටුහන් වන්නේ එම සමාගම් කොටස් 74 ක් වශයෙනි.

අරමුදල විසින් මෙම සමාගම් කොටස් 74 හි ආයෝජනය කර ඇති මුළු මුදල රු. බිලියන 83.46 ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට මේවායේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 70.80 ක් ලෙසින් සනිටුහන් වේ.

ආර්ථික විෂ්ලේශකයන්ට අනුව සේවක අර්ථසාධක අරමුදල සමාගම් කොටස් 74හි කළ ආයෝජන වලින් පමණක් 2020 දෙසැම්බර් 31 වන දිනට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 12.66ක් වේ.

එම ආර්ථික විශ්ලේෂකයන්ට අනුව,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කිරීමට අවශ්‍යය වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් රුපියල් බිලියන 100 කට ආසන්න ගනනකි. ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සමාගම් කොටස් 74ක ආයෝජනය පමණක් රුපියල් බිලියන 83.46ක් වෙද්දී පාඩුව සමස්ත නැගෙනහිර ජැටිය සංවර්ධනයට වැයවන වියදමෙන් දහයෙන් පංගුවකටත් වඩා මදක් වැඩිය.

(Lanka Leads)