Tuesday, November 05, 2024
Follow Us
සංචාරක හා අපනයන ගොඩ ගන්නා සැලැස්ම ජනපති සති 3 කින් ඉල්ලයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති සංචාරක සහ අපනයන යන ක්‍ෂේත‍්‍රයන් කඩිනමින් යළි සංවර්ධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ ප‍්‍රමුඛ අවධානය යොමුව ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන් තොටුපොල යළි විවෘත කිරීමට මෙන්ම මත්තල ගුවන් තොටුපොලේ සේවා යළි ආරම්භ කිරීම සඳහා දැනටමත් සියළු කටයුතු සූදානම් බවයි.

අලූත් ආණ්ඩුවේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සිදුකරන විශේෂාංග මාලාවට එක්වෙමින් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක මෙම අදහස් පළ කළා.

අපනයන ක්‍ෂේත‍්‍රය සංවර්ධනය කිරීම සදහා අලූත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. නව ආයෝජන කලාප බිහි කිරීම මෙන්ම පවතින කලාප සංවර්ධනයටද සැලසුම් සකස් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

එක් එක් අමාත්‍යාංශ දියුණු කිරීම සදහා ගන්නා වැඩපිළිවෙල පිළිබද ජනාධිපතිවරයා විසින් සියළු ඇමතිවරුන්ගෙන් සැලසුම් ඉල්ලා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ අනුව ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සැලසුම සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානකගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ අදාළ සැලසුම සති 3 ක් තුළ ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවයි.

මේ අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හෙට (17) සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. මීට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලිසබ්රිද හෙට දිනයේ සිය රාජකාරී ආරම්භ කරනවා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, දිලූම් අමුණුගම හා ප‍්‍රසන්න රණවීරද හෙට දිනයේ සිය ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

(Neth)