Saturday, October 19, 2024
Follow Us
චොකලට් බටර් අයිසිංවලින් කේක් එකක් හැඩ කරමු

අපි පසුගිය සතියක චොකලට් කේක් එකක් හදන්න ඉගෙන ගත්තනේ. ඒ හින්දා අද චොකලට් කේක් එක හදලා චොකලට් බටර් අයිසිං කරන විදිහ කියා දෙන්නයි මේ සූදානම. එහෙමනම් කොහොමද කේක් එකක් රස සහ ලස්සන කරගන්නේ කියලා අපි බලමු.

මුලින්ම අපි කේක් එක හදමු

ඒ සඳහා අවශ්‍ය දේවල්

* පිටි ග්‍රෑම් 200gක්

* සීනි ග්‍රෑම් 250ක්

* බටර් ග්‍රෑම් 250ක්

* කොකෝ පවුඩර් ග්‍රෑම් 50ක්

* බිත්තර 4ක්

* බේකිං පවුඩර් ග්‍රෑම් 15ක්

* වැනිලා තේ හැන්දක්

* කිරි මේස හැඳි දෙකක්

සාදාගන්නේ මෙහෙමයි

~ බටර් හා සීනි හොඳින් ගසාගන්න.

~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

~ එයටම වැනිලා එකතු කරන්න.

~ පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර් හොඳින් හලාගන්න.

~ දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට හලා ගත් පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් මඳ වේගයෙන් බිට් කරන්න.

~ දැන් මේ මිශ්‍රණයට කිරි ටිකද එකතුකර කලවම් කරන්න.

~ කිලෝ එකේ තැටියක් ගෙන බේකිං පේපර් දමා සකසාගෙන ඒ මත සකසාගත් කේක් මිශ්‍රණය අතුරන්න.

~ විනාඩි 8කට පමණ කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

~ දැන් බේක් කරගත් කේක් එක අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්න හරින්න.

දැන් අපි හොඳින් නිවුණු කේක් එක චොකලට් බටර් අයිසිංවලින් හැඩ කරගමු.

ඒ සඳහා,

* බටර් ග්‍රෑම් 250ක්

* අයිසිං සීනි ග්‍රෑම් 500ක්

* කොකෝ පවුඩර් මේස හැන්දක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* කිරි මේස හැන්දක්

~ බටර්, අයිසිං සීනි, කොකෝ පවුඩර් , වැනිලා කිරි එකට එකතුකර ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ නිවුණු කේක් එකේ උඩ පොත්ත අයින් කරන්න. පිහියක ආධාරයෙන් කොටස් දෙකක්වන සේ වෙන් කරගන්න. ඒ කියන්නේ කේක් එක මැදින් පිහියක් යවා කපා ගන්න රවුම් දෙකක් වන සේ.

~ උඩ රවුම පරිස්සමට පිඟානක් මත තබා යට රවුමට ඔබ සකසාගත් චොකලට් බටර් ක්‍රීම්වලින් කොටසක් හොඳින් අතුරන්න. අනතුරුව උඩ රවුම ඒ මත තබන්න.

~ දැන් කේක් එක උඩ දැන් කේක් එකේ මතුපිට සහ වටේ චොකලට් බටර් ක්‍රීම්වලින් කවර් කරගන්න.

~ කේක් එක වටේ යට දාරය දිගේ ස්ටාර් නොසල් එක උපයෝගී කරගෙන පයිප් කරගන්න.ඔබ කැමති නොසල් එක උපයෝගී කරගෙන කේක් එක උඩ වටේම ලස්සනට පයිප් කරගන්න. වැඩි රසට කජු ටිකක් රෝස්ට් කරලා කුඩාවට කපා එකතු කරන්න.

 

-Tharunie