Sunday, October 20, 2024
Follow Us
ආදරය වැඩිකරන රෝස් කේක්

ප්‍රේමණීය හදවත් දෙකක් එකට බැඳෙන ඒ සොඳුරු දිනය කොයිතරම් නම් සුවිශේෂී ද?

එකී සුවිශේෂී බව තවත් වැඩිකරලන්නට යම් තේමාවක් සහිතව මංගල උත්සවය හෝ විවාහ ගිවිසුම් උත්සවය සංවිධානය කරගන්නටයි වැඩි දෙනකුගේ කැමැත්ත. මෙහිදී තේමාවට ගැළපෙන පරිද්දෙන් හැඩවැඩ වෙන්නට, උත්සව සැරසිලි කරන්නට පමණක් නොව ඊට හරි අපූරුවට ගැළපෙන පරිද්දෙන් කේක් නිර්මාණයක් කරගන්නත් අපේ අය බොහෝමත්ම කැමැතියි.

ඉතින් රෝස පැහැයෙන් සැරසෙන්නට ප්‍රියකරන, රෝස පැහැය තේමා කරගත් විවාහ මංගල උත්සවයකට සේම විවාහ ගිවිසුමට මේ අලංකාර කේක් නිර්මාණය කොයි තරම් නම් ගැළපෙනවා දැයි බලන්න

අවශ්‍ය ද්‍රව්‍ය

* ග්‍රෑම් 500 ප්‍රමාණයේ රවුම් හැඩැති තැටියක

සාදාගත් රිබන් කේක් කිලෝ එකක් (ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් දෙකක්)11 40

* ග්‍රෑම් 750 ප්‍රමාණයේ රවුම් තැටියක සාදාගත් කේක් දෙකක්

* අවශ්‍ය නම් කිලෝ එකේ රවුම් තැටියක සාදාගත් කේක් දෙකක් හෝ උස අඟල් 6 ප්‍රමාණයේ සහ විශ්කම්භය අඟල් 10 ප්‍රමාණයේ රවුම් රිජිෆෝම් ඩමියක්

* මුදුනටම අඟල් 02ක උසකින් යුතු අඟල් 08ක විශ්කම්භය සහිත රිජිෆෝම් ඩමියක්

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං (කේක් හා ඩමි සඳහා)

* ස්වාභාවික මල් (වර්ග කිහිපයකින්)

* ගෝල්ඩ් එඩිබල් ඩස්ට්

* අවර්ණ ඇල්කොහොල් වර්ගයක්

* යටම තැටියේ සහ උඩම තැටියේ ආකාරයට අවශ්‍ය මෝල්ඩ්

* පබලු වැල් යාර දෙකක් හෝ ඩිසයින් රේන්ද යාර දෙකක්

සාදන්නේ මෙහෙමයි

* පළමුව කිලෝ ග්‍රෑම් එක ප්‍රමාණයේ තැටියේ සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

* එම කේක් එක වටේටත් අයිසිං කරගන්න.

* ඉන්පසු ෆොන්ඩන්ට් අයිසිං තුනීකර පරෙස්සමට කේක් එක මත එළා එය හොඳින් ආවරණය කරගන්න.

* දැන් අනෙක් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

* අනතුරුව එය වටේටත් අයිසිං කරගන්න.

* පෙර පරිදිම ෆොන්ඩන්ට් අයිසිං තුනීකර කේක් එකට එළා මේ කේක් එකත් ආවරණය කරගන්න.

* දැන් කේක් බෝර්ඩ් එක ගෙන ඒ මත කේක් රඳවා ගැනීම කළ යුතුය. මෙහිදී යට කොටස සඳහා ඔබ රිජිෆෝම් යොදා ගන්නවා නම් එය පෙර පරිදිම අයිසිං තවරා ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගන්න. එහෙමත් නැත්නම් ඒ වෙනුවට කේක් භාවිත කළ හැකි අතර ඒ සඳහා කිලෝ එකේ කේක් දෙකක් ගෙන අයිසිංවලින් ආවරණය කරගන්න.

* සූදානම් කරගත් ලොකු කේක් එක මුලින්ම බෝඩ් එක මත තබාගන්න. අනතුරුව ඊට මඳක් කුඩා කේක් එක ඒ මත තබා මැදින් කෙබාබ් හෝ බාබක්‍යු ස්ටික් එකක් ගසා එක උඩ එක සිටින සේ රඳවාගන්න.

* දැන් උඩම තිබෙන රිජිෆෝම් බේස් එක අදාළ මෝල්ඩ් එකෙන් අවශ්‍ය හැඩ කපා මේ කේක් එකට සම්බන්ධ කරන්න.

* දෙවැනි තට්ටුවේ කේක් එක සරසාගෙන ඇත්තේ කලින් දමා ගත් ෆොන්ඩන්ට් එකට රවුම් කපා මල් පෙති ආකාරයට ටූල්කර නවා අලවා ගැනීමෙනි.

* අවසාන තට්ටුවට පෙති ආකාරයට එන මෝල්ඩ් එකට ෆොන්ඩන්ට් දමා එය අලවා ගෙන එඩිබල් ඩස්ට්වලින් පේන්ට් කරගන්න.(මෙහිදී ගෝල්ඩ් ඩස්ට් එකට ඇල්කොහොල් දමා එය ඝන දියර තත්ත්වයට සාදාගෙන ඉන්පසුව පින්සලකින් පාට කරගන්න.)

* අවසානයේ දී පිපුණු නැවුම් මල් කිහිපයක් රඳවගෙන මේ කේක් නිර්මාණය හැඩවැඩ කරගන්න.

සැ.යු. මෙවැනි උත්සව අවස්ථාවලදී මල් නැවුම් පෙනුමෙන් යුක්තව දිගු කාලයක් තබා ගැනීමට මේ ස්වාභාවික මල්වල නටුවට තෙත පුළුන් කැබැල්ලක් තබා බඳින්න.අනතුරුව එය කේක් එකට සම්බන්ධ කරගත් විට මල් නැවුම් පෙනුමකින් වැඩි වේලාවක් තබා ගත හැකියි.

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

Tharunie