Sunday, October 20, 2024
Follow Us
විවාහ ගිවිසුම-සුවඳින් පුරවන ස්වාභාවික මල් කේක් එකක්

ආදරණීය හදවත් දෙකක් එකට බැදෙන සොඳුරු විවාහ මංගල්‍ය සුන්දර දිනය ඉතාමත් අලංකාරව මෙන්ම උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන්නයි හැමෝගෙම කැමැත්ත එහිදී විවාහ ගිවිස ගැනීම එක් දිනයකදීත්, විවාහ මංගල උත්සවය තවත් දිනකදීත් වශයෙන් සංවිධානය කරන අවස්ථාද පවතී.

මෙහිදී උත්සව දෙකට ගැළපෙන ආකාරයට හැඩවැඩ වෙන්න විතරක් නෙමෙයි රසවත් කේක් දෙකක් නිර්මාණය කරගන්නත් අපේ මනාලියන් හරිම කැමැතියි. බොහෝ වේලාවට විවාහ මංගල්‍යය සඳහා කේක් ආකෘති යොදා ගත්ත ද විවාහ ගිවිස ගැනීමට නම් අලංකාර කේක් එකක් සකසා ගැනීමයි සිදුකෙරෙන්නේ.

අයිසිං මල්වලින් හැඩ වැඩ කළ කේක් එකක් වෙනුවට ස්වාභාවික මලින් හැඩ කළ මේ කේක් නිර්මාණයත් එවැන්නකි. කටට රසට කේක් හදන්න පුළුවනි නම් ඔබේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයටත් වැඩි වෙහෙසක් හෝ වැඩි වියදමක් නොමැතිවම මෙවැන්නක් හරි අපූරුවට නිර්මාණය කරගත හැකියි නේද ?

* ග්‍රෑම් 500 රවුම් හැඩයේ තැටියක සාදාගත් රිබන් කේක් කිලෝ එකක් (ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් දෙකක් )

* කිලෝ ග්‍රෑම් එකක රවුම් හැඩයේ තැටියක සාදා ගත් කේක් කිලෝ දෙකක්

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං

* ස්වාභාවික නැවුම් මල් (ඔබේ කැමැත්ත පරිදි වර්ග කිහිපයක මල් මේ සඳහා භාවිත කළ හැකියි.)

* ගෝල්ඩ් එඩිබල් ඩස්ට්

* අවර්ණ ඇල්කොහොල් වර්ගයක්

* විවාහ ගිවිස ගැනීමට භාවිත කරනා කේක් ටොපර් එකක්

* පබළු වැල් යාර දෙකක්

* පළමුව කිලෝ ග්‍රෑම් එකේ තැටියේ සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කරන්න.

* කේක් එක වටේටත් අයිසිං ක‍රගන්න.

* ඉන්පසුව ෆොන්ඩන්ට් අයිසිං ටිකක් තුනීකර එය කේක් එක මත එළා කේක් එක හොඳින් ආවරණය කරගන්න.

* දැන් ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් දෙක සකසා ගත යුතුය.

* ඒ සඳහා වෙනත් කේක් බෝර්ඩ් එකක් ගෙන ඒ මත කේක් දෙක තබා බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කරන්න.

* අනතුරුව එම කේක් එක වටා ද අයිසිං කරගන්න.

* මෙයට පෙර කේක් එක ආවරණය කරගත් ආකාරයටම නැවතත් ෆොන්ඩන්ට් අයිසිං ටිකක් තුනී කරගන්න. ඉන්පසුව එය පරෙස්සමට කේක් එක මත එළා කේක් එක හොඳින් ආවරණය කරගන්න.

* දැන් මුලින් ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගත් විශාල කේක් එක මතින් අනෙක් කේක් එක තබන්න.

කෙබාබ් හෝ බාබක්‍යු ස්ටික් එකක් ගසා කේක්, එක මත එක සිටින සේ රඳවා ගන්න.

* ගෝල්ඩ් ඩස්ට්වලට ඇල්කොහොල් මිශ්‍රකර එය ඝන දියර තත්ත්වයට සාදාගන්න. අනතුරුව පින්සලක් ආධාරයෙන් රූපයේ ආකාරයට කේක් එක වර්ණවත් කරගන්න.

* කේක් එක වටා බොර්ඩර් එකක් දමනවා වෙනුවට මෙහි දැක්වෙන ආකාරයට පබළු වැල් රඳවා ගන්න.

* ස්වාභාවික මල් කිහිපයක් සුදුසු පරිදි රඳවමින් අලංකාර කේක් එකක් නිර්මාණය කරගන්න.

* මෙවැනි උත්සව අවස්ථාවකදී මල් වැඩි වේලාවක් නැවුම් බවින් තබාගත යුතු වේ. එබැවින් ස්වාභාවික මල් කල් තබා ගැනීමට හැකි පරිදි මල් නටුවට තෙත පුළුන් කැබැල්ලක් තබා බඳින්න. අනතුරුව එය පරිස්සමට කේක් එකට ඇතුළු කරන්න.

* අවසානයේ එන්ගේජ්මන්ට් කේක් ටොපර් එක කේක් එක උඩින් රඳවන්න.

උපදෙස් -

අප්ලන්ඩ් කේක්

ඇන්ඩ් ඇකඩමිහි කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

Tharunie