Sunday, October 20, 2024
Follow Us
ස්ට්‍රෝබෙරි පැනකොත්තා

දිව පිනවන ස්ට්‍රෝබෙරි පුඩිම ඉමිහිරි අතුරුපසක්.

අමුද්‍රව්‍ය දෙකක් භාවිත කරමින් පිළියෙළ කළ හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ඒනිසාම ආර්ථික අපහසුතා තිබුණත් මෙවැනි අතුරුපසක් පිළියෙළ කරගැනීම පිළිබඳ දෙවරක් හිතන්න ඕන වෙන්නේ නැහැ.

ස්ට්‍රෝබෙරි හෝ රාස්බෙරි

ජෙලි පැකට් 2ක්

පොඩි ටින්කිරි ටින් එකක්

සාදන අන්දම

ස්ට්‍රෝබෙරි හෝ රාස්බෙරි ජෙලි පැකට් දෙක පැකැට්ටුවේ ඇති උපදෙස් අනුගමනය කරමින් නටන උණු වතුරට දමා දිය කරගන්න.

ටින්කිරි එක බ්ලෙන්ඩර් කරගන්න. අවශ්‍ය නම් අයිස් කැට දමා බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්.

ජෙලි ටික ශීතකරණයේ තබා සෙට් වූ පසු කැබලිවලට කපා ටින්කිරි සමගම බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. එසේ නොමැති නම් සාදා ගත් ජෙලි ද්‍රාවණය ශීතකරණයේ නොදමා ටින්කිරි සමඟ බ්ලෙන්ඩර් කරගත හැකියි.

වීදූරු බඳුනකට බටර් ස්වල්පයක් ආලේප කොට (⁣පහසුවෙන් ගලවා ගත හැකියි) බ්ලෙන්ඩර් කරගත් ජෙලි සහ ටින්කිරි මිශ්‍රණය ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සෙට් වීමට තබන්න. හොඳින්ම සෙට් වූ පසු මතුපිටට කජු හෝ වෙනත් එවැනි දේ දමා සරසා පිළිගැන්විය හැකියි.

අමුද්‍රව්‍ය දෙකකින් හරිම පහසුවෙන් ස්ට්‍රෝබෙරි ජෙලි පුඩිම සාදාගත හැකි වූවා නේද? මෙය ඔබේ පුංචි දියණියට වුවත් සරලව සාදාගත හැකි අතුරුපසකි.

ඩිලෙන්රෝ කේක් ඇන්ඩ් ඇකඩමි හි

කේක් නිර්මාණ ශිල්පිනී

දිලානි දීපිකා කුමාරි

Tharunie