Sunday, October 20, 2024
Follow Us
කාල තියෙනවා ද සාදික්කා ජෙලි

ජෙලි කියලා කියන්නේ අපූරු රසයකින් අපේ දිව කුල්මත් කරන රසවත්ම අතුරුපසක්. ඒ විතරක් නෙමෙයි විවිධ හැඩයට නේක වර්ණ රටාවෙන් සැකසෙනා මේ ජෙලි නෙතට රැගෙන එන්නෙත් අපූරු චමත්කාරයක්.

ඉතින් මේ විදිහට කෑම මේසය රසකරන්නා ,හැඩකාරයා වූ ජෙලි සාදික්කා ලෙල්ලෙනූත් සකසාගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා ද ? පුදුමයක් නෑ. මේ විදියට හදල බලන්න. ඔබටත් රසවත් අතුරුපසක මිහිර විඳගන්න පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

r සාදික්කා ලෙලි ග්‍රෑම් 500ක්

r සීනි ග්‍රෑම් 500ක්

r සිට්‍රික් අම්ලය ග්‍රෑම් 01ක්

r ජලය මිලි ලීටර් 625ක්

 

සාදාගන්නා ආකාරය

 

සාදික්කා ජෙලි සැකසීම සඳහා එහි පොත්ත ඉවත් කිරීමට අවශ්‍ය නොවේ. එබැවින් පළමුව මේ ලෙලි ටික හොඳීන් සෝදා ගන්න.ඉන්පසුව ඒවා කැබලිවලට කපා ගන්න. එලෙස කපා ගත් සාදික්කා ලෙලි කැබලි ග්‍රෑම් 500කට ජලය මිලිලීටර් 500ක් දමා විනාඩි 30ක් 40ක් ගතවනතුරු හොඳීන් තම්බා ගන්න.

එලෙස තම්බා ගත් සාදික්කා ලෙලි ටික ළිපෙන් බා නිවෙන්නට හැර ලී හැන්දකින් හෝ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩිකර ගන්න. අනතුරුව ඉතා පිරිසුදු තුනී රෙදි කඩකින් පෙරා ගන්න.

පෙරාගත් පසු සාදික්කා ලෙලි යුෂ උස භාජනයකට දමා ගන්න.

නැවතත් පෙරනයේ ඉතිරි වු කොටසට ඉතිරි ජලය (මිලි ලීටර් 125ක් පමණ) දමා හොඳීන් මිශ්‍රකර නැවත පෙරා ගන්න.

එලෙස පෙරා ගත් කොටස පළමු කොටසට මිශ්‍ර කරන්න.

පෙරහනෙහි ඉතිරි වූ රොඩු ඉවත දමන්න. ජෝගුවක් වැනි වඩාත් උස භාජනයකට දමාගත් මේ උකු දියරය පියනකින් වසා පසුදා වනතුරු නොසොල්වා තබන්න.

මෙලෙස නොසොල්වා පැය 24ක් පමණ ගත වු පසු භාජනයේ පත්ලට ඝන කැබලි බැස ඇති බවත් ඒ මත පැහැදිලි දියරයක් ඇති බවත් ඔබට දැක ගන්නට ලැබෙනු ඇත. මෙම පැහැදිලි දියරය ඉතා පරෙස්සමින් මණ්ඩි මිශ්‍ර නොවන ලෙස වෙනත් භාජනයකට ඉවත් කරගන්න.

මෙයින් ග්‍රෑම් 500කට සීනි ග්‍රෑම් 500ක් ද සිට්‍රික් අම්ලය ග්‍රෑම් 1ක් ද වනසේ දමා නොකඩවා හැඳිගාමින් ඒකාකාරීව මඳ ගින්නේ රත් කරන්න.

මීට ඉහතදී අප සඳහන් කළ පරිදි මෙහි පෙණ ඇතිවන විට සිදුරු සහිත හැන්දකින් එම පෙණ ඉවත් කරන්න.

පදමට උකු ගතිය ඇති වු විට පෙර පරිදිම ජීවානුහරණය කරගත් පිරිසුදු බෝතල්වල අසුරා ගන්න.

මෙම සාදික්කා ජෙලි සඳහා වර්ණ එකතු කිරීම අවශ්‍ය නැත. එහි ස්වභාවික වර්ණයම ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ලබාදෙන ආකාරය ඔබට දක්නට ලැබෙනු ඇත. එසේ නොමැති නම් ඔබ කැමති වර්ණකයක් මිශ්‍රණය ළිප තැබීමේදී එකතු කළ හැකියි.

(Tharunie)