Saturday, October 19, 2024
Follow Us
කෑම මේසයට වෙනස්ම රසයක් ගෙනෙන බිලිං චට්නි

බිලිං ගහේ කඳ පුරාම ගෙඩි හැදිලා තියෙද්දී දැක්කහමත් ආසයි. එහෙම දකිද්දි එක සැරේ ම හීල්ලුනත් අනේ ඇස්වහ නම් වදින්න එපා කියලා හිතෙන් කියවෙනවාමයි.

බිලිං කියද්දි දත් ටිකම ඇඹුල් වෙලා යද්දි බිලිං වලින් හදපු චට්නියක් කිව්වොත් නම් එහෙම වෙන එක්ක නෑ නේද?

මේ ගෙදරට වෙලා ඉන්න ගෘහණියන්ට කෑම මේසයට වෙනසක් එක් කරන්න හොඳම අවස්ථාවක්. කල්තබා ගන්නත් හැකි නිසා මේ දිනවල වඩාත් ප්‍රයෝජනවත් වේවි.

 

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

බිලිං ගෙඩි 15 ක් පමණ (හොඳින් ඉදුණු)

සීනි ග්‍රෑම් 100 ක්

මිරිස් කුඩු අවශ්‍ය පමණ

සුදුලූනු බික් හතරක් පහක්

විනාකිරි බෝතල් 1/4 ක්

ලුණු ස්වල්පයක්

අබ තේ හැන්දක්

අමු ඉඟුරු කැබැල්ලක්

 

මෙහෙම හදමු

පුංචි බේසමකට කඩාගත්තු බිලිං ගෙඩි දමා හෝදා ගන්න. ටික ගමේ අම්මලා නම් කොරහට දාලා සෝදගෙනම යි කුස්සියට ගේන්නේ. බිලිං ටිකක් කඩා ගනිද්දි වත්ත පහළ ඉඟුරු ටිකක් වවලා තියේ නම් හාරලා පොඩි ඉඟුරු අලයකුත් ගලවගෙනම එන්න අමතක කරන්න එපා.

බිලිං ටික රවුම් හැඩයට පෙති කපලා තියාගන්න.

අමු ඉඟුරුයි, සුදුලූනුයි වංගෙඩියේ දාලා පේස්ට් එකක් වනතුරුම හොඳට කොටාගෙන පැත්තකින් තියන්න. දැන් මැටි ඇතිලියක් ළිපේ තියලා (දර ළිපේ නම් පංකාදු පහට තියේවි) තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත්වෙද්දි ඉඟුරු සුදුලුනු ගුලිය එකතු කරන්න. හිතාගන්න පුළුවන්ද ඉඟුරු, සුදුලූනු ගුලිය තෙලට දැම්මම රන්වන් පැහැ වනතුරු බැදෙද්දී විහිදෙන සුවඳ ගැන. පොල්කටු හැන්දක් අරන් හොඳට කලවම් කරගන්න. දැන් එකතු කරන්නේ විනාකිරි. විනාකිරිත් එක්ක දැන් ඉඟුරු, සුදුලූනු ගුලිය සුවඳ විහිදුවමින් පිසෙනවා. මේ අතරට රස අනුව ලුණු, මිරිස් කරල් සෝදලා වේළලා කොට ගත්තු මිරිස් කුඩු එකතු කරනවා.

මේ දේවල් පිසෙන්නේ විනාකිරිවල. විනාඩි කිහිපයක් ගත වේද්දි විනාකිරි මිශ්‍රණය තරමක් ඝණ වෙලා. දැන් මේකට කපාගත්තු බිලිං ටික දාලා මැටි ඇතිලියකින් වහලා තියන්න.

විනාඩි කිහිපයකින් ඇරලා පොල්කටු හැන්දෙන් හොඳට කලවම් කරගන්න. දැන් ඔන්න බිලිං චට්නිය ළිපෙන් බා ගන්න පුළුවන්.

නිවුණාම වියළි පිරිසුදු හැන්දකින් බෝතලයකට දාලා සති ගණනාවක් ම වුණත් තියාගෙන කන්න පුළුවන්.

දවල්ට, රෑට මේ ඕනෑම වෙලාවක බත් ටිකක් කද්දි බිලිං චට්නි ටිකක් දාගෙන කනකොට කෑමවල ප්‍රියතාව වුණත් ඇතිවෙනවා.

(Tharunie)