Saturday, October 19, 2024
Follow Us
ජින්ජර් කේක්

මේ කේක් එක කප් කේක් එකක් විදිහට වගේම සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා කේක් එකක් විදිහටත් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 150ක්

පැණි හෝ ගෝල්ඩන් සිරප් තේ කෝප්ප 1ක්

( මේ සඳහා පීරිසි කෝප්පයක් භාවිත කළ හැකියි )

දුඹුරු සීනි කෝප්ප 3/4ක්

ජින්ජර් බියර් කෝප්ප 1ක්

බේකිං සෝඩා ( ආප්ප සෝඩා)තේ හැඳි 2 ක් පිටි කෝප්ප 2 1/2ක්

වියළි ඉඟුරු කුඩු මේස හැඳි එකක්

සුවඳ කුඩු තේ හැඳි දෙකක්

ලුණු ස්වල්පයක්

 

සැරසීමට

අයිසිං සීනි ස්වල්පයක්

පැණි ටිකක්

 

සාදන ක්‍රමය

පළමුව බටර්, සීනි සහ ගෝල්ඩන් සිරප් බඳුනකට දමා මඳ ගින්දරේ උණුකරගන්න. ඉන්පසු ළිපෙන් බා එයට ජින්ජර් බියර් සහ ආප්ප සෝඩා එකතුකරන්න. දැන් මෙය හොඳින් පිපීඑනු දැකිය හැකිය. පසුව පිටි වලට ඉඟුරු කුඩු , සුවඳ කුඩු සහ ලුණු ස්වල්පයක් එකතුකර ඉහත මිශ්‍රණයට කලවම්කර ගන්න .

ඔබ මෙය කප් කේක් ලෙස සකසා ගන්නේ නම් මෆින් ට්‍රේ එකක් ගෙන ඒ මතට පේපර් කප් දමා බටර් තවරා කප් එකෙන් 3/4 ක් පිරෙන සේ මෙම මිශ්‍රණය දමන්න.එසේ නැතිනම් අඟල් 8x8 හෝ අඟල් 6ක් විෂ්කම්භය සහිත රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමා ගන්න. මෙම තැටියට මිශ්‍රණය දැමීමේදීද උඩින් අඟලක් ඉතිරිවන සේ දමන්න. දැන් ඔබ මෆින් ට්‍රේ එකකට මෙම මිශ්‍රණය දැම්මානම් සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 15ක් බේක් කරගන්න. නැතිනම් සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයෙන් විනාඩි 30-45 ක් අතර කාලයක් බේක් කරගන්න. මේ ආකාරයට බේක් කරගත කේක් එක උඩින් අයිසිං සීනි හෝ පැණි ස්වල්පයක් දමාගන්න. මේ සඳහා ඉඟුරු කුඩු සහ ඉඟුරු දෝසිද එකතුකර ගත හැකියි. ඔබට වියළි ඉඟුරු කුඩු සොයා ගැනීමට අපහසුයි නම් අමු ඉඟුරු කෑල්ලක් ගෙන සිහින්ව කපා බ්ලෙන්ඩ්කර යුෂ එකතුකර ගත හැකියි .

(Tharunie)