Saturday, October 19, 2024
Follow Us
Cabbage Rice - ගෝවා බත්

මේක දකුණු ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක්. මේ බත් එක විශේෂ අවස්ථාවකදි මස් මාළු කන්නෙ නැති අය වෙනුවෙන්ම වුනත් හදලා දෙන්න පුළුවන් ඔයාලට.


අවශ්‍ය දේවල්:
උයාගත්ත බත් කෝප්ප 2
පොඩියට කපාගත්ත ගෝවා කෝප්ප 2
තෙල් මේස හැදි 3 (එලවළු තෙල් හෝ පොල් තෙල්)
අබ ඇට තේ හැදි 3/4
සූදුරු තේ හැදි 1
කරපින්චා කොළ 5-6
රට කජු මේස හැදි 2
දෙකට පලා ගත්ත අමු මිරිස් කරල් 1
පොඩියට කපා ගත්ත ළුණු ගෙඩි 1/2
ගාගත්ත කැරට් අල 1/4
පොඩියට කපාගත්ත මාලු මිරිස් මේස හැදි 2
ලුණු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 1/2
ගරම් මසාලා කුඩු තේ හැදි 1/2 (සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්)
ගාගත්ත පොල් මේස හැදි 2
පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ පොඩ්ඩක්
සාදාගන්නා ආකාරය:
මුලින්ම භාජනයක් අරන් ලිපේ තියලා ඒකට තෙල් දාලා අබයි සූදුරුයි කරපින්චයි දාලා අබ ටික පුපුරනකම් ලිපේ තියාගන්න.
ඊළගට රටකජු ටිකත් දාලා බැදෙන්න තියන්න.
රට කජු ටික බැදෙනකොට ළුණුයි අමු මිරිස් කරලයි එකතු කරලා ඒවත් බැදගන්න.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ කැරටුයි මාලු මිරිසුයි ටික ඒකට එකතුකරගන්න එක.
මේ ටික හොදට තෙම්පරාදු වීගෙන එනකොට ගෝවා ටික මේකට එකතු කරගෙන විනාඩ් 3ක් විතර ලිපේ තියාගන්න.
ඒ එක්කම ලුණු ටිකකුත් දාන්න.
ඊලගට ගරම් මසාලයි මිරිස් කුඩුයි කහ කුඩුයි මේ එළවළු මිශ්‍රණයට එකතු කරගන්න.
දැන් ගින්දර ටිකක් අඩු කරලා හදාගත්ත බත් ටික එළවලු මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. මේ වෙලාවෙදි රස ටිකක් බලලා ලුණු මදි වගේනම් ටිකක් එකතු කරගන්න.
බත් ටික දැම්මට පස්සෙ භාජනේ පියනකින් වහලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න ඕනෙ. විනාඩි 3කට පස්සෙ පියන ඇරලා බලන්නකෝ බත් එක ලස්සන පාටට තියනවා.
ඊට පස්සෙ අන්තිමට අපිට කරන්න තියෙන්නෙ ගාගත්ත පොල් ටිකයි කොත්තමල්ලි කොළ ටිකයි බත් එකට එකතු කරලා කලවම් කරගන්න එක.
එච්චරයි! ඔන්න අපි "ගෝවා බත්" එක හදලා ඉවරයි! ඊට පස්සෙ ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.
මම මේ බත් වර්ගය සඳහා මසාලා රසට ඉස්සන් කරි එකක් සමඟ පිපිඤ්ඤා, ස්ටීම් කරගත් බේබිකෝන් සහ බේබි කැරට් සහ සලාද කොල ටිකක් එකතු කර ගත්තා. ඔයාලටත් කැමති විදියට රස බලන්න පුළුවන්. නිර්මාංශ බත් වර්ගයක් නිසා මස් මාළු නැතුව වුවද රස බලන්න පුළුවන්.

(Facebook)