Saturday, October 19, 2024
Follow Us
ඔබේ විවාහය වලංගු එකක් ද?

ද්වි විවාහය බරපතළ වංචාවක්

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු නව පවුල් සංස්ථාවක් ඇරැඹීම විවාහයෙන් සිදුවේ. එය ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයකි. නැතහොත් දෙවැනි උපතයි. බොහෝ පිරිස් නීත්‍යානුකූල විවාහ දිවියකට එළැඹීමේ දී තවත් ඉතාම සුළුතරයක් වලංගු නොවන විවාහයක් කෙරෙහි දැනුවත්ව හෝ නො දැනුවත්ව එළැඹියා විය හැකියි. සාමාන්‍ය නීතිය යටතේ වලංගු නොවන විවාහයක් පිළිබඳ ඔබ දැන සිටිය යුතුම ය.

 

අපේ රටේ නීතිය අනුව විවාහ වීමට නෛතික බාධාවක් නොමැති කෙනකුට ඕනෑම අවස්ථාවක තමන් කැමැති විරුද්ධ ලිංගිකයකු සමඟ නීත්‍යානුකූලව විවාහ වීමට බාධාවක් නොමැත.

 

නීත්‍යානුකූල නොවන අවස්ථා

 

* දැනටමත් වලංගු විවාහයක් පවතින තැනැත්තන්

* සිහිවිකල් ඇත්තන් නො එසේ නම් උන්මත්තක ඇත්තන්

* බාලවයස්කරුවන් (අවුරුදු 18ට අඩු)

* තහනම් ඥාති සබඳතා සහිත පුද්ගලයන්

* භාරකරුවන් හා ඔවුන්ගේ භාරකාරත්වයේ සිටින අය අතර

* සමාන ලිංගිකයන් අතර

ඉහත කාණ්ඩවල තැනැත්තන්ට කොහෙත්ම නීත්‍යානුකූල විවාහයකට ඇතුළු වීමට නො හැකි වේ. ඔවුන් විවාහ දිවියට එළැඹී තිබේ නම් ඒවා මුල පටන්ම වලංගු නොවන හෝ අවලංගු කළ හැකි විවාහයක් ලෙස සලකනු ලබයි.

 

ලිංගික බෙලහීනතාව නීතිමය බාධාවක් නොවේ

මෙහිදී සිහි තබාගත යුතු කාරණය වන්නේ ලිංගික බෙලහීනතාව යන්න විවාහයට පවතින නීතිමය බාධාවක් නොවන බවයි. නමුත් විවාහ වන අවස්ථාවේ පවත්නා ලිංගික බෙලහීනතාව අනාගතයේ අනෙක් පාර්ශ්වයට දික්කසාදය ලබා ගැනීම පිණිස හේතුවක් ලෙස යොදා ගැනීමට පුළුවනි.

 

එක් විවාහයක් තිබිය දී තවත් විවාහයකට ඇතුළු වීම

යම් අයෙක් තමන්ට වලංගු විවාහයක් පවතින අවස්ථාවේ දී තවත් විවාහයකට ඇතුළත් වුවහොත් එම විවාහය මුල පටන්ම අවලංගු විවාහයක් ලෙස සලකනු ලබයි. එපමණක් නොව එහි දී අදාළ පුද්ගලයා ද්වී විවාහය (Bigamy) යන අපරාධමය වරද සිදු කරයි. මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ එලෙස නැවත වතාවක් විවාහ වීමෙන් පසුව පළමුව වලංගු විවාහය අවසන් කළත් (දික්කසාදය හරහා හෝ පළමු විවාහය අනෙක් පාර්ශවය මිය යෑම හේතුවෙන්) දෙවනුව සිදුකළ විවාහයට නීතිමය වලංගුභාවයක් හිමි නොවන බවයි.

 

උන්මත්තකයකු ගේ විවාහය

විවාහය යනු ගිවිසුමක් බව අප සඳහන් කළා මතක ඇති. එසේ නම් විවාහය යන ගිවිසුමට එළැඹෙන යම් පුද්ගලයකුට ස්වේච්ඡා කැමැත්තක් සහ එහි බරපතළකම අවබෝධ කර ගැනීමේ මානසික හැකියාවක් පැවතිය යුතුයි. ඒ අනුව උන්මත්තක අයකුට විවාහයට ඇතුළත් වීම පිණිස අවශ්‍ය කරන මානසික හැකියාව, ස්වාධීන කැමැත්ත පළ කිරීමේ හැකියාව නැති බව නීතිය මඟින් පිළිගනු ලබයි. නමුත් සාමාන්‍ය සුළු මානසික ආබාධ සහිත, එහෙත් විවාහයේ ස්වභාවය අවබෝධ කරගෙන ඊට ඇතුළත් විය හැකි අයට විවාහ වීමට බාධාවක් නොමැති බවත් මතක තබාගත යුතුය.

 

බාලවයස්කරුවන්

අවුරුදු 18ට අඩු තැනැත්තන්ට වලංගු විවාහයකට එළැඹීමට හැකියාව නොමැත. මේ සඳහා හේතුව වන්නේ ද අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයි ලෙස සැලකීමයි. එහිදී අදාළ ළමයාගේ ළමා කාලය වඩා ප්‍රීතිමත්ව නිදහසේ භුක්ති විඳීමට සැලැස්වීම අපේක්ෂා කරනු ලබයි. වර්තමානයේ පවත්නා ළමා අයිතිවාසිකම් පිළිබඳ කතිකාවත හමුවේ මෙය ඉතා යහපත් බාධාවක් ලෙස පෙන්වා දිය හැකියි.

අවලංගු විවාහ එසේත් නැත්නම් ශුන්‍ය හා බල රහිත විවාහයන් යනු දික්කසාද වුණු විවාහයන් නොවේ. දික්කසාදය සඳහා වෙනම නීති තත්ත්වයක් අප රටේ පවතී. එය අප ඉදිරි දිනක දී කතා කරමු.

 

උන්මත්තක භාවය, මත්වීම, බලහත්කාරය හෝ අයුතු බලපෑම මත සිදුකරන විවාහයන් අවලංගු විවාහයන් වශයෙන් අධිකරණයක් මඟින් ප්‍රකාශ කරවා ගන්නට පුළුවනි. විශේෂයෙන් උන්මත්තකභාවය මෙන්ම මත් වීම නිසාවෙන් 'ස්වේච්ඡා සහගත කැමැත්ත' නොමැති වීම මත විවාහය අවලංගු යැයි ප්‍රකාශ කරවා ගන්න පුළුවනි.

මෙහිදී යම් පාර්ශ්වයක් මත්පැන් හෝ මත්ද්‍රව්‍යවල බලපෑම මත ඔවුන්ගේ කැමැත්ත නැතිව විවාහ කරවා තිබේ නම් එය අවලංගු කරවා ගත හැකියි. නමුත් එවැනි විවාහයක් වුවත් ලිංගික සංසර්ගය හරහා පරිපූර්ණත්වයට පත් වී තිබේ නම් අධිකරණය එය අවලංගු කිරීමට මැළි බවක් දක්වන්න පුළුවනි. නමුත් හුදෙක් නෛතිකව පමණක් විවාහය ලියාපදිංචි කර තිබීම හා එම විවාහය තුළ අඹු සැමි හැසිරීම් රහිත නම් අවලංගු කරවා ගැනීම පහසු විය හැකියි.

තවද බලහත්කාරයෙන් සිදු කරනු ලබන විවාහයන් ද වෙනත් පුද්ගලයකු වශයෙන් පෙනී සිටිමින් සිදු කරනු ලබන විවාහයන් ද අවලංගු විවාහයන් ලෙස ප්‍රකාශයට පත් කරවා ගැනීමේ හැකියාව පවතින බව සිහිතබා ගත යුතුය.

 

අවලංගු විවාහයන්හි නෛතික බලපෑම

මෙවැනි විවාහ මුල පටන්ම ශූන්‍ය හා බල රහිත නිසා ඒ මත නීතිමය වගකීම් අයිතිවාසිකම් හා යුතුකම් උද්ගත නොවන බව අවබෝධ කරගත යුතුයි. එමෙන්ම මෙවැනි විවාහයන්ගෙන් උපදින දරුවන් අවිවාහජ දරුවන් ලෙස පිළිගනී. වලංගු නොවන විවාහයකින් අගතියට පත්වන පාර්ශ්වයකට එවැනි විවාහයක් හේතුවෙන් සිදු වූ හානියට වන්දි අයකර ගැනීමේ හැකියාවක් පවතී. ඒ සඳහා අදාළ දිසා අධිකරණයේ නඩුවක් පවරා ප්‍රතිකර්ම අයැද සිටිය යුතුයි. තවද වංචනික ලෙස ද්වීවිවාහය නම් වරද සිදුකරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ වගකීම පැවරිය හැකි අතර ඒ සඳහා ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහය තුළ ඇතුළත් වී තිබේ.

යම් අයකු කැමැත්තෙන්ම නීතිමය වශයෙන් වලංගු නොවන විවාහයකට එළැඹි නම් අදාළ පාර්ශ්වය මියගිය පසු අනෙක් පාර්ශ්වයට කිසිදු වෛවාහක අයිතියක් හෝ මියගිය පාර්ශ්වයෙන් උරුම අයිතිවාසිකම් කිසිවක් හිමි නොවන බව අවබෝධ කරගත යුතුය. උදාහරණ: වලංගු නොවන විවාහයක පුරුෂයා මිය ගියේ නම් අදාළ කාන්තාවට ඒ පුරුෂයාගේ දේපළවලින් හරි අඩක් උරුම නොවේ. එයට හේතුව ඔවුන්ගේ විවාහය වලංගු නොවීමයි.

විවාහයකට එළැඹීමට පෙර නිසි සොයා බැලීමක් සහිතව විවාහ වීම හරහා අනාගතයේ ඇති විය හැකි බොහෝ අපහසුතා වළක්වා ගත හැකියි.

 

 

උපදෙස්

කොළඹ විශ්ව විද්‍යාලයේ

නීති පීඨයේ ජ්‍යේෂ්ඨ

කථිකාචාර්ය

චතුරිකා අකුරුගොඩ

Tharunie