Saturday, October 19, 2024
Follow Us
 පැපොල් ආහාරයට ගැනීමෙන් සිදුවෙන දේවල් 9 ක්

ඝර්ම කලාපයේ රටවල් වල ඉතා පහසුවෙන් දැකගත හැකි පලතුරු විශේෂයන් අතර ගස්ලබු නොහොත් පැපොල් සුවිශේෂී වේ. මෙම ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයි. ගස්ලබු වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Carica papaya වේ.

ශ්‍රි ලංකාවේ මිනිසුන් අතර ද ඉතා ප්‍රසිද්ධ පලතුරක් ලෙස පැපොල් පෙන්වාදිය හැකිය. ඕනෑම ගෙවත්තක ඉතා පහසුවෙන් වගා කර ගත හැකි පැපොල් මිනිසාට ලබාදෙන ඵල ප්‍රයෝජන ද රැසකි.

ගස්ලබු වල මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත වේ. පැපේන් එන්සයිමය, කැලරි, කාබෝහයිඩ්‍රේට්, තන්තු, ප්‍රෝටීන්, විටමින් ඒ, සී, බී 1, බී 3, බී 5, ඊ, කේ, ෆෝලේට්, පොටෑසියම්, කැල්සියම් හා මැග්නීසියම් යනාදී පෝෂ්‍ය පදාර්ථ රැසක් ඒ අතර වේ.

පැපොල් වල ඖෂධීය භාවිතය.

 

ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කරයි ගස්ලබු වල අන්තර්ගත පැපේන් නම් රසායනිකය අපගේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කර ආහාර ජීර්ණය හොඳින් සිදු කිරීමට උපකාරී වේ. එමෙන්ම තන්තු සහිත පලතුරු විශේෂයක් වන බැවින් මල බද්ධය වැනි රෝග තත්ත්ව වලින් මිදීමේ හැකියාව ගස්ලබු ආහාරයට ගැනීමෙන් පවතී. තවද ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ පිළිකා තත්වයන් වලක්වාලීමට ද පැපොල් සමත් වේ. ඒ අනුව සමස්තයක් ලෙස ආහාර ජීරණ පද්ධතියේ නිරෝගීභාවය තහවුරු කිරීමේදී පැපොල් ආහාරයට ගැනීම ගුණදායකය.

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන වේ. කැරොට්නොයිඩ් හා බීටා කැරොටීන් බහුලව අන්තර්ගත පලතුරක් ලෙස පැපොල් හඳුනාගත හැකිය. පැපොල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද අනූන බැවින් ශරීරයෙන් පිටවන මුක්ත ඛණ්ඩක සමඟ සටන් වැදීමටද ඉන් හැකියාව ලැබේ. එම නිසාවෙන් වයස්ගත පෙනුම ඇතිවීම වැළැක්වීමටත්, පිළිකා සෛල ඇතිවීම පාලනය කිරීමටත්, ඇල්ෂයිමර් රෝගය ඇති වීම පාලනයටත්, අතිරික්ත යකඩ ප්‍රමාණයන් ශරීරය තුළින් දිය කරලීමටත් ඉතා යෝග්‍ය පලතුරක් ලෙස පැපොල් භාවිතයට ගත හැකිය.

හෘද රෝග ඇතිවීම පාලනය කරයි. හදවතේ නිරෝගීභාවය ඇති කර ගැනීම සඳහා පැපොල් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. මේ සඳහා ගස්ලබු වල අඩංගු විටමින් සී සහ ලයිකෝපීන් නම් සංඝටක දායක වේ. මේවා මගින් හදවතට හිත කර අන්දමින් එච්.ඩී.එල් කොලෙස්ට්‍රෝල් ඇති කරයි. එනම් අයහපත් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර රුධිරය හෘදයට සැපයීම ක්‍රමානවත් කරයි. මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනය වේ.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ගස්ලබු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසාවෙන් සහ ඒවා තුළ කැරටනොයිඩ අඩංගු වන නිසාවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීමට ගස්ලබු වඩාත් යෝග්‍ය වේ. ගස්ලබුවල අඩංගු විටමින් ඒ සහ සී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් බව ඇති කරලීම සඳහා දායක වේ. මේ අනුව උණ, සෙම්ප්‍රතික්ෂාව හා හිසේ කැක්කුම යනාදී රෝග වලින් වැළකීම සඳහා පැපොල් වඩාත් යෝග්‍ය වේ. එබැවින් දිනපතා ආහාර වේල්වලට ගස්ලබු කැබැල්ලක් එක් කර ගැනීම සැම අතින් ම යහපත්ය.

රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගනී. වර්තමානයේ බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ආලේපන සහ පිරිසිදුකාරක වලට පැපොල් භාවිත කරයි. එයට හේතුව පැපොල් මගින් සම පැහැපත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පැවතීමයි. වර්තමානය වන විට බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනයන් වලට පැපොල් යනු නැතිවම බැරි දෙයකි.

 

ඇස් පෙනීම වර්ධනය කරයි. උපතේ සිට මරණය දක්වාම නිරෝගී ඇස් පෙනීමක් ලබා ගැනීමට සෑම අයෙක්ම කැමති වේ. එසේ නිරෝගී ඇස් පෙනීම ලබා ගැනීමට අප ගන්නා ආහාරපාන පවා ඉවහල් වේ. ඒ අනුව ගස්ලබු ආහාරයට එක්කර ගැනීමෙන් මිනිස්සුන්ගෙ ඇස් පෙනීම බොහෝ කාලයක් ගැටලුවකින් තොරව පවත්වා ගත හැකිය.

ශරීරය ඉදිමුම හා දාහය නැති කරයි. ශරීරයේ ඇතිවන ඉදිමුම් වේදනා තත්ත්වයන් සහ දැවිල්ල නැති කරලීම සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස පැපොල් පෙන්වාදිය හැකිය. පැපොල් වල අඩංගු විශේෂිත ප්‍රෝටීන දිරවන papain හා chymopapain යන එන්සයිම මගින් සිරුරේ ඇතිවන ඉදිමුම් තත්ත්වයන් හා දැවිල්ල සමනය කරයි.

ආතරයිටිස් රෝගය පාලනය කරයි. විශේෂයෙන් පැපොල් ආහාරයට එක්කර ගැනීමෙන් ආතරයිටිස් රෝගය පාලනය කරගත හැකිය. පැපොල් වල අධික ලෙස අඩංගු විටමින් සී රුමැටික් ආතරයිටිස් රෝගයට ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වයි.

පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරයි. පැපොල් වල අඩංගු පැපේන් එන්සයිමය, Iycopene සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත වන නිසාවෙන් පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව පවතී. විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට වැලදෙන prostate පිළිකා තත්වය පාලනය කිරීමට පැපොල් සමත් ය. මීට අමතරව පැපොල් ආහාරයට එක්කර ගැනීමෙන් පහත දක්වා ඇති සෞඛ්‍යමය ප්‍රතිලාභ ද අත්පත් කරගත හැකිය. ඒ අනුව,

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රුධිර කැටි ගැසීම වළකාලයි.
ඔසප් සමයේ ඇතිවන අධික වේදනාව දුරලයි.
ගර්භණී සමයේ ප්‍රථම ත්‍රෛමාසිකය තුළ ඇතිවන වමනය සහ ඔක්කාරය නවතාලයි. ආදී වශයෙන් පෙන්වා දිය හැකිය.
ඉදුණු පැපොල් පලතුරක් ලෙස ආහාරයට එක්කර ගත හැකිවාක් මෙන්ම පළතුරු යුෂ ලෙස ද පානය කළ හැකිය. එමෙන්ම අමු ගස්ලබු වලින් ව්‍යාංජන සහ අච්චාරු සකස් කළ හැකිය. තවද මස් පිසීමේදී ඒවායේ තද ගතිය දුරු කර මෘදු බවක් ඇති කිරීම සඳහා අමු ගස්ලබු කැබලි එක් කර ගනු ලබයි.

කෙසේ නමුත් ගර්භණී සමයේදී අමු ගස්ලබු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. මන්දයත් අමු ගස්ලබු වල latex නම් සංඝටකය බහුලව අන්තර්ගත වේ. මෙමගින් ගබ්සා වීමට ඇති ඉඩකඩ උත්තේජනය කරනු ලබයි. මේ නිසාවෙන් ගර්භණී සමයේදී අමු ගස්ලබු ආහාරයට නොගත යුතුය.

මේ ආදී ගුණයෙන් අනූන පැපොල් යනු ලොකු කුඩා සෑම දෙනාටම ගුණදායක පලතුරකි. එබැවින් තම නිවසේ පරිභෝජනය සඳහා එක ගස්ලබු පැලයක් හෝ සිටුවා ගැනීම අතිශයින්ම වැදගත් වේ.

(Lanka Online)