Saturday, October 19, 2024
Follow Us
බර අඩු කරන අන්නාසි සතු ගුණ 13 ක්

ඝර්ම කලාපීය රටවල් වල ප්‍රචලිත පලතුරක් වශයෙන් අන්නාසි හඳුනාගත හැකිය. මෙම පලතුර කෙසෙල් තරම්ම ජනප්‍රිය පළතුරක් වන අතරම එමගින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන මෙතකැයි කියා නිම කල නොහැක.

අන්නාසි යනු පඳුරු සහිත ශාක විශේෂයක්වේ. මෙහි හටගැනෙන දිගටි පත්‍ර දෙපස දැති දැති ස්වරූපයක් දැකගත හැකිය. පඳුර මධ්‍යයේ අන්නාසි ඵලය හටගන්නා අතර එහි පිටත ආවරණය රළු ස්වභාවයකින් යුක්ත වේ. ඒ අනුව පිටත ඵලාවරණය හොඳින් ඉවත් කර ගැනීමෙන් පසු ආහාරයට ගැනීමට සුදුසු වේ.

අන්නාසි කල් තබා ගත හැකි පළතුරක් වේ. එමගින් ජෑම්, කෝඩියල්, පැණි බීම, අච්චාරු, චට්නි, ව්‍යංජන ආදී වශයෙන් නොයෙක් නිශ්පාදනයන් සකස් කරනු ලැබේ.

අන්නාසි වල පවතින පෝෂ්‍ය සංඝටක පිළිබඳ විමසා බැලීමේදී තන්තු, ජලය, කැලරි, ප්‍රෝටීන්, විටමින් සී, කේ, ඒ, ඊ , ඩී, පොස්පරස්, රයිබොප්ලෙවින්, යකඩ, ඛනිජ ලවණ, මැග්නීසියම්, ෆෝලික් අම්ලය, සිට්‍රික් අම්ලය, මැලික් අම්ලය, ඔක්සලික් අම්ලය, බ්‍රෝමේලයින් යනාදී වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්නාසි වල අන්තර්ගතව පවතී.

අන්නාසි වල පවතින සෞඛ්‍යමය ප්‍රතිලාභ

 

ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි. අන්නාසි වල පවතින අධික තන්තු සහිත ස්වභාවය හේතු කොටගෙන ආහාර ජීර්ණය හොඳින් සිදු කරයි. අන්නාසි මගින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම වර්ග හොඳින් නිපදවයි. මෙමගින් ආහාර ජීර්ණ පද්ධතිය තුළ පවතින අපද්‍රව්‍ය හා විෂ වර්ග ඉතා පහසුවෙන් ඉවත් කරන අතරම ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කරයි. තවද ආහාර ජීර්ණය වීම හොඳින් සිදුවන විට මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ද ඇති නොවේ.

ආහාර පාලනය කරන පුද්ගලයින්ට යෝග්‍ය වේ. අධික තරබාරු බව හේතුකොටගෙන ආහාර පාලනය සිදු කිරීම වර්ථමානයේ සුලබ තත්ත්වයකි. මෙවැනි පුද්ගලයින් සඳහා අන්නාසි වඩාත් යෝග්‍ය වේ. අඩු කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වන බැවින් ආහාරයට ගැනීමෙන් තරබාරු බව ඇති නොවේ. එනමුත් ජලය වැඩි වශයෙන් අන්තර්ගත වන බැවින් කුසගින්න ඇතිවීම පවා පාලනය වනු ඇත. ඒ අනුව ආහාර පාලනය කරන පුද්ගලයින් සඳහා අන්නාසි කදිම ආහාරයකි.

ඇස් වලට ගුණදායක වේ. විටමින් ඒ බහුලව අඩංගු පලතුරක් වශයෙන් අන්නාසි හඳුනාගත හැකි අතර එය ඇස් වල නිරෝගීභාවය සඳහා වඩාත් යෝග්‍ය වේ.

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වේ. අන්නාසි වල විටමින් ඒ සහ සී බහුලව අන්තර්ගත වන අතරම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්ත වේ. එම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් පිළිකා ඇතිවීමේ අවදානමක් පවා දුරු කරලීමේ හැකියාව අන්නාසි සතුව පවතී.

ආමාශයට ගුනදායක වේ. විශේෂයෙන් බඩේ ඇති වන පණු රෝග, බඩ පිපුම, ආහාර වැඩි වශයෙන් ගත්විට ආමාශයට දැනෙන අපහසුතා ආදිය දුරු කරලීමේ හැකියාව අන්නාසි වලට පවතී. ඒ අනුව ආමාශයට ද අන්නාසි ගුනදායකවේ.

මුත්‍රා රෝග සඳහා යෝග්‍ය වේ. මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඇති අයෙකුට එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා භාවිත කළ හැකි කදිම පලතුරක් ලෙස අන්නාසි හැඳින්විය හැකිය. ඒ අනුව අන්නාසි ආහාරයට ගැනීමෙන් මුත්‍රා ඉතා පහසුවෙන් පිට කිරීමේ හැකියාව ඇතිවේ. තවද මුත්‍රා ගල් ඇතිවීම පාලනය කිරීමේ හැකියාවද අන්නාසි සතුවේ.

උගුර ආශ්‍රිතව ඇතිවන රෝග දුරු කරයි. විශේෂයෙන් උගුර ආශ්‍රිතව ඇතිවන රතු වීම්, කැසීම්, උගුර වන වීම, කෙල ගිලීමේ අපහසුතා යනාදී වශයෙන් උගුර ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් වලදී එයට කදිම විසඳුම වන්නේ අන්නාසිවේ.

 

පිළිස්සුම් තුවාල සඳහා යෝග්‍ය වේ. විශේෂයෙන් මෙහිදී සුළු පිලිස්සුම් තුවාලයක් ඇති වූ විට අන්නාසි කොළ හොඳින් කොටා යුෂ වෙන්කරගෙන එම යුෂ පිළිස්සුම් තුවාල පවතින ස්ථානයේ ආලේප කිරීමෙන් සුවයක් ලබාගත හැකිය.

වේදනා නාශක ගුණයෙන් යුක්ත වේ. අන්නාසි ආහාරයට එක්කර ගැනීමෙන් යම් යම් රෝග වලින් ඇති වන වේදනාව සුවපත් කරගත හැකිය. ඒ අනුව හිසේ කැක්කුම, මාංශ පේශීන්වල හා සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව දුරු කිරීම සඳහා අන්නාසි දායකවේ.

මානසික සහනය ඇති කරයි. යම් පුද්ගලයෙක් අන්නාසි ආහාරයට ගැනීමෙන් එම පුද්ගලයාගේ මානසික ආතතිය දුරු වන අතරම සතුට වැඩි වන හෝමෝන ශ්‍රාවය වීම උත්තේජනය කරයි. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ මානසික සුවය සඳහා අන්නාසි කදිම පලතුරකි.

ප්‍රධාන වශයෙන්ම මෙම පලතුර ස්වභාවිකව ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනමුත් වර්තමානය වන විට අන්නාසි භාවිතා කරමින් තේ සකසා පානය කිරීම ද ජනප්‍රිය වේ. එනම්

අප සකසා ගනු ලබන තේ කෝප්ප එකකට පොතු ඉවත් කරගෙන හොඳින් පිරිසුදු කරගත් අන්නාසි කැබලි කිහිපයක් එක්කර ගැනීමෙන් අන්නාසි තේ සකසා ගත හැකිය. මෙය ඉතා රසවත් පානයක් වන අතර කාමර උෂ්ණත්වයේ තබා ගැනීමට කටයුතු කළ යුතුය. මෙම පානය පුද්ගලයින් තෘප්තිමත් කිරීමට දායක වන අතරම ශරීරයට අවශ්‍ය ශක්ති ප්‍රමාණයක් ලබා දීමට ද දායක වේ.

ඉහතින් දක්වා ඇති ආකාරයේ ප්‍රතිඵල රැසක් අන්නාසි වලින් ලබාගත්තා වුවද යම් යම් අවස්ථාවලදී අන්නාසි අගුණ වන තත්ත්වයන් ද පවතී. ඒ අනුව

අන්නාසි වල පවතින යම් යම් රසායනික සංඝටක හේතුකොටගෙන ගර්භණී කාන්තාවන්ට අන්නාසි ආහාරයට නුසුදුසු වේ. මන්දයත් එම සංඝටක වලින් කලලයට හානි සිදුවී ගබ්සා වීම් ඇති වන නිසාවෙනි.

පොතු කබර රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සඳහා අන්නාසි අගුණ වේ.
ඇදුම රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්ට අහිතකර වේ.
වාතරක්ත රෝගීන් අන්නාසි කෑම අගුණ වේ.
කුෂ්ඨ රෝග සහ කැසීම් පවතින පුද්ගලයින්ට අන්නාසි යෝග්‍ය නොවේ.
මුත්‍රා දැවිල්ල, අත් පා හා ශරීරයේ දැවිල්ල, ආමාශයේ දැවිල්ල යන රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්ට අන්නාසි යෝග්‍ය නොවේ.
ඉහත දක්වා ඇති කරුණු කාරණා වලට අනුව පැහැදිලි වන්නේ රසවත් පලතුරක් වුවත් අන්නාසි යනු ගුණ සහ අගුණ මිශ්‍රිත පලතුරු විශේෂයක් බවයි. එබැවින් එහි පවතින ගුණාගුණ පිළිබඳ සැලකිලිමත් වෙමින් අන්නාසි ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

(Lanka Online)