Saturday, October 19, 2024
Follow Us
නිහඬතාව සහ බිරිය

“මොන කන්දොස්කිරියාවක්ද මන්ද. පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා ඉන්න පුළුවන්ද ?“

“ දැන් තමයි මගේ කටහඬ කන්දොස්කිරියාවක් වෙලා තියෙන්නේ. ඉස්සර නම් කනට මී පැණි වගෙයි.

පොඩ්ඩ නැත්නම් ඇයි කතා නැත්තේ අහනවා. “ සැමියා හා බිරිය අතර මෙවැනි සංවාද ඕනෑතරම්. සැමියා දවස පුරාම අඩුවෙන් කතා කළත් එයත් සමහර බිරින්දෑවරුන්ට ප්‍රශ්නයක්.

සෑම බිරියක් ම නිහඬතාව බිඳ දමන්නියන් නො වෙයි. ඒ වාගේම නිහඬව සිටීමට බැරි ස්වාමිපුරුෂයන් ද නැතිවා නො වෙයි.

කෙසේවුවත් සම්මතය නම් බැට දෙන්නේ කාන්තාවන්ටයි. දිනකට කාන්තාවක් වචන 20,000 ක් පමණ කතා කරද්දී පිරිමින් ගේ කතාව වචන 7000 කට පමණ සීමා වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

වචනය අසිපත් තුඩක් වාගෙයි. ඒ නිසා අඹු සැමියන් එකිනෙකාට කතා කරන වචන සිතාමතා කතා කරන වචන වීම වැදගත්ය. සමහර අවස්ථාවල කතා කිරීමට වඩා වැදගත් වන්නේ නිහඬතාවය ය. තමන්ට ම නිහඬව සිටීමේ වැදගත්කම තේරෙන අවස්ථා යුග දිවියේදී ඕනෑ තරම් අත්දකින්නට ලැබෙයි. නිහඬතාව රත්තරන් කියන්නේ ද එනිසාය. දෙදෙනා අතර උණුසුම් වාද විවාදයකදී දිගින් දිගටම වාද වීමට වඩා නිහඬවීම වැදගත්ය. නිහඬතාව යුග දිවියට වාගේම තමන් ගේ දිවියට ද දරුවන් ගේ දිවියට ද එක ලෙස වැදගත් වෙයි. නිහඬතාව ආත්මීය පරාවර්තනයකට ලැබෙන හොඳ අවස්ථාවකි. එමෙන් ම නිහඬව සිටින විට මොළය හොඳින් ක්‍රියාකාරී වෙයි. මුවින් හඬ නො නඟන විට අපේ ඇතුළාන්තයේ හඬ අවදිකර ගැනීමට හැකි වෙයි. ඔබට හොර රහසේ නිහඬතාව සිරුරේ බොහෝ වෙනස්කම් ඇති කරයි. ඒවා අතර රුධිරය පීඩනය අඩු වීම, හදවතේ වේගය අඩු වීම, හුස්ම ගැනීම ක්‍රමවත් වීම, මාංසපේශි ආතතිය අඩුවීම, අවධානය වැඩි වීම වැනි වාසි සහගත වෙනස් වීම් ගණනාවකි.

නිවෙසේ නිහඬතාව රජ කරන්නේ නම් ඒ නිවෙසේ හැදෙන වැඩෙන දරුවන් ගේ මානසික සෞඛ්‍ය යහපත් වන බව සොයා ගෙන තිබෙයි. නිහඬ පරිසරය දරුවා‍ ගේ ආතතිය දුරු කරයි. විද්‍යාඥයන් පවසන්නේ නිහඬබව මොළයට මල්ටි විටමිනයක් බවය.

තුරුලතා වැඩෙන්නේ මල්පල හට ගන්නේ නිඬවය. ඉර - හඳ පායන්නේ නිහඬවය. මිනිසාට ද නිහඬතාව අවශ්‍ය ය. ආත්මය අවදි කිරීමට ඇති හොඳම මඟ එය ය.

(Tharunie)