Saturday, October 19, 2024
Follow Us
A perfect pedicure 2

මීට කලින් අපි නිවසේ දී තනියම පාද සත්කාර කරගන්න හැටි ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වගේම කකුල් ලස්සනට පිරිසිදුවට තියාගන්න හැටි සහ ඒවා කැත වෙන්න හේතු, නියපොතු නරක් වෙන්න හේතු ආදී ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඒ ලිපි ඔයාලා කියවලා ඇති කියලත් හිතෙනවා.


රූපලාවණ්‍යාගාරයක් තියෙන කෙනෙක් හැටියට මගේ වැඩ කරගන්න මගේ ආයතනය තුළම මට පුළුවන්. ඒ නිසා එළියට ගිහිල්ලා ඒවා කරගන්න ලැබෙන අවස්ථා ඉතාමත් අඩුයි. Assistant කෙනෙක් නැති අවස්ථාවක හදිසියේ pedicure එකක් කරගන්න වුණොත් මම එළියට යනවා. ප්‍රසිද්ධ හොඳයි කියන තැන්වලට ගිහින් disappoint වෙලා ඇවිත් තියෙනවා. වැඩිපුර හම්බවෙලා තියෙන්නේ උඩින් පල්ලෙන් අත පත ගාන ඒවා තමයි.
ඒක කරගෙන සල්ලි ගෙවලා එනකොට හිතෙනවා එයාලව බලෙන් ඇදගෙන ඇවිල්ල නොමිලේ ට්‍රේනින් එකක් දෙන්න. ඒතරම් පාඩුයි. පැය බාගෙන් ඔක්කොම ඉවරයි . සමහර හොඳටම කරන තැන් වල වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. attitude problems , professional මදිකම , වැඩේ අතරමඟ දාලා එයාලගේ වෙන වැඩ කිරීම ආදී ප්‍රශ්න.
කෙනෙකුට පාද සත්කාරයක් කරලා දීලා ඇතිවෙන සතුට, මුහුණට සත්කාරයක් කරල ඇතිවෙන සතුට වගේ හතර පස් ගුණයක් වෙනවා. කකුල් බිම තියන්නත් ලෝබ කමේ client යද්දි ලොකු සතුටක් දැනෙනවා.
බොහෝ රූපලාවණ්‍යාගාරවල මේ පාද සත්කාර කරන්නේ නෑ. අප්පිරියාව සහ තත්ත්වෙට හොඳ නෑ කියලා. ඒ කියන්නේ තව කෙනෙක්ගෙ කකුලක් අල්ලන්න තියෙන අකමැත්ත. මගේ රූපලාවන්‍යාගාරයේ රැකියාව කරන අයගෙ මම මුලින්ම කරන්නේ brain wash කරන එකයි.
වෘත්තියට අදාළ දේවල් පුළුවන් උපරිමයෙන් හොඳට කරලා දෙන්න තමයි මගේ ආයතනයේ එකම අරමුණ. Assistant ලට ඒක මම කොටලා පොවන දෙයක්. නැත්නම් සමහර අයට ඒක පත්තියං වෙන්නෙ නෑ. මම වුණත් client කෙනෙක් හැටියට ආයතනයකට ගියාම බලාපොරොත්තු වෙන දේ එයයි. වෙනත් ආයතවල හොරට ඉඳලා පුරුදු වෙලා අපි ළඟට රැකියාවට ආවම ඔවුන් අමාරුවේ වැටෙනවා. මොකද හරියට වැඩක් කරලා පුරුදුම නෑ.
ඉතින් , තනියම ගෙදරදි කරන pedicure එකකට වඩා හාත්පසින්ම වෙනස් රූපලාවන්‍යාගාරයේ දී කරන එක. නියපොතු හොඳටම පිරිසිදු කරලා , ඒවායේ මැරුණු සම ඉවත් කරලා , නියපොතු අස්සෙ තියන කුණු දුහුවිලි ඉවත් කරලා, ඉන්පස්සේ යටිපතුලේ ඉරිතලා ගිය තැන් ඉවත් කරලා, කකුලට අදාළ සම මතු කරලා දීලා , මැරුණු සම සම්පූර්ණයෙන් ඉවත් කරලා, අන්තිමට කුඩා අවධියේ තිබුණු විදිහෙ සුමුදු දෙපතුල් සහිත පිරිසිදු කකුල් දෙකක් පැය දෙකක් වගේ කාලයක් තුළ හිමි කරලා දෙන්න දක්ෂ රූපලාවණ්‍යවේදිනියකට පුළුවන්.
හැබැයි ඒකට මනා පුහුණුවක් සහ ඉවසීමක් තියෙන්න ඕන. පැය බාගයෙන් මැජික් කරන්න බෑ. ඔයා උනත් සැලොන් එකට යනකොට දුවන්න බලාගෙන යන්න එපා. මොකද මගේ ආයතනයේ වුණත් client එන්නේ දුවන්න බලාගෙන නම් , අපි එයාට බාධා කරන්නෙ නෑ. පාඩුව එයාටමයි.

(Beauty Secrets with Rapunzel)