Saturday, October 19, 2024
Follow Us
දියණියගේ රහස් ප්‍රදේශ පිරිසුදුව තබා ගන්න කියාදෙන්න

“අම්මේ ජිතුලි ලොකු ළමයෙක් වුණා කියලා කේක් ගෙනාවා. අද එයා අලුත් යුනිෆෝම් එකකුත් ඇඳලා හිටියා. තව යාළුවෝ කිහිප දෙනෙක්ම කිවුවා, ඒ අය නිවාඩු කාලේ ලොකු ළමයි වුණා කියලා.“

දියණියගේ පන්තියේ යාළුවෝ වැඩිවිය පැමිණෙද්දී අම්මලා කලබලයට පත්වෙනවා.

ගැහැනු දරුවකු මල්වර වීම ප්‍රමාදවීමට හේතු ගණනාවක් බලපායි. සාමාන්‍යයෙන් ආසියාතික රටවල අවුරුදු 10 සිට 15 දක්වා කාලයේ දී මල්වර වීම සිදුවේ. එය වෙනස් වීමට (ඉක්මන් වීමට හෝ ප්‍රමාද වීමට) ගන්නා ආහාර, ආහාර රටාව, පරිසරය හා ජානමය හේතු බලපායි.

 

ගන්නා ආහාර බලපාන්නේ කොහොමද?

පෝෂ්‍යදායි ආහාර නොලබන දරුවාගේ වර්ධනය අඩුය. සිරුරේ යකඩ ඌනතාව ද (හිමොග්ලොබින් නියමිත මට්ටමේ නොතිබීම) මල්වරය ප්‍රමාද වීමට බලපාන ප්‍රධාන සාධකයකි. බ්‍රොයිලර් කුකුළු මස් නිතර නිතර කෑමට ගැනීම දියණියට සුදුසු නැත. මෙම කුකුළන් සඳහා බාහිරින් දෙනු ලබන වර්ධක හෝර්මෝනය දිගින් දිගටම කුකුළුමස් කන දියණියගේ සිරුරේ ද තැන්පත් වේ. මෙහිදී ද දියණියට උසට සරිලන බරක් පවත්වා ගත නොහැකි වේ. එවිට ද දියණිය අනවශ්‍ය මහතකින් යුතු නිසා මල්වරය සිදුවන කාලපරාසය බොහෝවිට වෙනස් වේ. පලාවර්ග, එළවළු වර්ග වෙනුවට ක්ෂණික, කෘත්‍රිම ආහාර දියණියගේ ආහාර රටාවට එකතුව තිබේ. මෙය පසු කලෙක දියණිය විවාහපත් වී දරුවකු පිළිසිඳ ගන්නට වෑයම් කරන කාලයේ දී ගැටලුකාරි තත්ත්ව මවාවි. ගැහැනු දරුවකුට දෙන ආහාර රටාව කුඩා කල සිටම කල්පනාකාරීව සිදුකරන්න. එය දියණියගේ මුළු ජීවිතයම තීරණය කරන සාධකයක් ද විය හැකියි.

 

මල්වරයට ජානමය හේතු බලපාන හැටි

මේ සඳහා මවගේ පාර්ශ්වයේ හේතු තදින්ම බලපායි. මවගේ, මවගේ සොයුරියගේ, මිත්තණියගේ මල්වරවීම ප්‍රමාද නම් ඔබේ දියණියගේ ද එසේ වීමට පුළුවන. හැමවිටම කෑමට ගත් ආහාරවල කැලරි ප්‍රමාණය දහනය කිරීමට උත්සහ ගන්න. නැතහොත් ඒවා සිරුරේ මේදය ලෙස තැන්පත්වීම නිසා සිරුර මහත් වේ.

දියණිය පාසල් ගොස් ටික වේලාවකින් හිරණ්‍යාට පාසලෙන් ඇමතුමක් ලැබුණා. ඒ දියණිය වැඩිවියට පත්වූවා යන සුබ ආරංචියයි. සේමිතත් හිරණ්‍යාත් සතුටට පත්වූවා සේම හිස මත මහා වගකීමක් පැටවුණා වැනි හැඟීමක් ද ඇති වූවා. අමතර ගවුමක්, යට ඇඳුමක්, සනීපාරක්ෂක තුවායක් මේ වයසේ සිටින දැරියන්ගේ බෑග්වලට දමා එවීම හරිම වැදගත්.

පසුගිය මාස කිහිපයේම දියණියගේ රහස් ප්‍රදේශයේ සිහින් රෝම පැමිණිම, ළැම ප්‍රදේශය තරමක් ඉස්සී තිබීම, කුරුලෑ එකක් දෙකක් ඒම වැනි ද්විතීයීක බව හිරණ්‍යාට අවබෝධ වී තිබුණු නිසා ඇය සිටියේ මේ තත්ත්වය බලාපොරොත්තුවෙන්.

නිවෙසට ගෙන ආ දියණිය පිරිසුදු කර අලුත් ඇඳුම් අන්දවා ඇගේ කාමරයේ ම ඉන්නට සැලස්වූයේ ඇයට මෙය මානසික පීඩාවක් නොවීමටය. නිවෙසේ එහා මෙහා යන්නට එපා... වැනි තහංචි නොදැමීමට මුල සිටම හිරණ්‍යාත් සේමිතත් වගබලා ගත්හ. පිරිමි මුණ නොගැස්සවීම ආදි යල් පැන ගිය මත කෙරෙහි හිරණ්‍යාගෙත් සේමිතගෙයි කිසිදු විශ්වාසයක් නොවීමත් මෙයට හේතුවක්.

දියණියක වැඩිවිය පැමිණියා යනු ඇගේ ලිංගික හෝර්මෝන වර්ධනය වීම ඇරැඹියා යන්න පෙන්නුම් කරන ප්‍රධානම ලක්ෂණයයි. මෙතැන් පටන් දියණියගේ ඇඟපතට අමුතුම හැඩයක් එකතු වේ. ළැම ඉස්සීම, උකුළ පළල්වීම, කළවා ප්‍රදේශය වර්ධනය වීම සිදුවේ. වෙනදාට වඩා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති උනන්දුවද වැඩි වේ. කෝලගතියක් ඇති වේ. මේ අවස්ථාවේ ඇයට බාධක, තහංචි දමන්නට එපා. කළයුත්තේ සමාජය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දීමයි. යුවතියකගේ කුමරි බඹසර රැක ගැනීමේ අගය, කුල කාන්තාවක ලෙස අනාගතයේ දිනෙක පතිකුලයට යන තෙක් චරිතවත්ව සිටීම ගැන ඇයට අවබෝධයක් ලබා දිය යුතුයි.

සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් භාවිතය පිළිබඳ දැරියට අවබෝධයක් ලබාදීම මවගේ කාර්යභාරයකි. මෙය මව විසින් කරදීම වෙනුවට මල්වර වූ දා පටන්ම දියණියට හුරු කරන්න. නොතේරුම් වයසක දී මල්වර වූ දියණියකගේ නම් මෙම කාර්යය යම් කාලයක් ගතවන තුරු මවටම සිදු කරන්න වේවි.

ප්‍රමිති සහතිකය ඇති සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම හරිම වැදගත්. සනීපාරක්ෂක තුවාය යට ඇඳුමට තබා අලවද්දී එහි මැද කොටස කිසිම තැනක අඩුම තරමින් අතේවත් ස්පර්ශවීමට දෙන්න එපා. යම් විසබීජයක් තැවරුණහොත් එය දැරියගේ යෝනි මාර්ගය ඔස්සේ ශරීරගත වනු ඇත. මෙහිදී අත් පිරිසුදු කරගැනීම අතිශය වැදගත්. දිනකට අවම වශයෙන් තුන්වතාවක් හෝ සනීපාරක්ෂක තුවා මාරුකරන ලෙස දියණියට උපදෙස් ලබා දෙන්න. මෙම ප්‍රමාණය තීරණය වන්නේ බොහෝවිට රුධිරය පිටවන ප්‍රමාණය අනුවයි.

දියණියට තම රහස් ප්‍රදේශය ආශ්‍රිතව පිරිසුදුව තබා ගන්නා අන්දම කියාදෙන්න. ඒ අවට ඉක්මනින් දුර්වර්ණ වීමට පුළුවන්. කළු පැහැති පුස්වර්ග, දුගඳ හමන දිලීර වර්ග ඉක්මනින් බෝවීමට පුළුවන්. මව ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිට චර්ම රෝග, කාන්තා රෝග ඇතුළු පළපුරුදු වෛද්‍යවරුන්ගෙන් උපදෙස් පතන්න. දියණිය මොනතරම් ඉගෙනීම අතින් ඉහළට පැමිණියත් ඇයගේ පුද්ගලික ප්‍රදේශ ආශ්‍රිත පිරිසුදු

භාවය මනාව පවත්වාගෙන නොයෑම නිසා පවුල් අවුල් ඇතිවීමට පුළුවන. මුහුණේ, තොල්, නියවල ආලේප තවරමින් ලස්සන වුවත් විවාහපත් වූ පසු සැමියාට, ඇගේ පෞද්ගලික ප්‍රදේශ (ළැම හා ලිංගික ප්‍ර‍ෙද්ශය) නිරාවරණය වේ. එහි පිරිසුදු බව අතිශය වැදගත් වන්නේ මේ නිසාය.

දියණියක් යන එන තැන් පමණක් නොව ඇගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වන්න.

 

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක

(Tharunie)