Saturday, October 19, 2024
Follow Us
දරුවා ඇවිදිද්දි කකුල් ඇදේට පේන්නේ ඇයි?

“අනේ බබාගේ කකුල් බකල් ‍ෙවයිද?“

උපදෙස් ආයුර්වේද විශාරද පණ්ඩිත විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය සුදත් ගුණතිලක

පෙරළිලා, බඩගාලා, දණගාලා, අල්ලගෙන ඇවිදින වයසට ආවම පුංචි දරුවෝ ඊළඟට සැරසෙන්නේ වැටි වැටී තනියම ඇවිදීමටයි. මේ කාලේදී අම්මට පේන්නේ දරුවාගේ කකුල් දෙක බකල් වෙලා වගෙයි.

සිනිඳු රෝස පැහැති දෙපතුල්වලින් පයගහලා ඇවිදිද්දී ලෝබ හිතෙනවා.

දිගටම මේ තත්ත්වය පවතීද? දරුවාගේ කකුල් බකල වේවිද? මේ වගේ දහසකුත් එකක් ප්‍රශ්න. ඕනෑම දරුවෙක් මුලින්ම ඇවිදිද්දි කකුල් ඇදේටයි පේන්නේ. විශේෂයෙන්ම දියණියක් ඉන්න මවක් මෙවැනි තත්ත්වයක දී වහා කලබලයට පත්වේවි.

දණ හිස ළඟින් ඇතුළට එබීගිය තත්ත්වය Knowcked ලෙසත්, දණ හිස ළඟින් පිටතට මාංසපේශි බොකුටුවන තත්ත්වය Bow leg ලෙසත් වෛද්‍යවරු හඳුන්වනු ලබයි. මේ තත්ත්ව දෙකම ඇවිදින වයසේ දරුවන් අතර බහුලව දැකිය හැකියි.

මෙසේ වන්නේ අත් හා පාද දික්වීමේදී දණහිස්වල ඇති අස්ථි වර්ධනය කොටසක් නිසි පරිදි වර්ධනය නොවන විට දණහිස ළඟින් ඒ අවස්ථාවේ ඇදයක් ඇතිවේවි.

තරමක් තරබාරු දරුවන්ගේ මේ තත්ත්වය වැඩිපුර දැක ගන්න ලැබේවි. එසේ වන්නේ දරුවාගේ බර වැඩි නිසයි. මෙහිදී කලබලයට පත්වන මවුවරු වෛද්‍යවරුන් සොයා යයි.

තවද දණහිසට පහළ දිගු අස්ථි දෙකේ වක්වීමක් ද කුඩාකල දැකිය හැකියි. එම අස්ථි දිගින් වර්ධනය වනවිට ස්වභාවිකවම එම ඇදය පහව යයි. මෙය ස්වභාවික වර්ධනයකි. ස්වභාවික වෙනස්වීමකි. අවුරුදු 3 - 5 අතර කාලයේ දී මෙවැනි තත්ත්ව ඉබේම පහව යයි. එනිසා අනවශ්‍ය ලෙස කලබලයට පත්වන්නට එපා.

එනමුදු ඉතාම අතළොස්සක් පමණ වූ බිලිඳුන්ගේ පවුල්වල අස්ථි විකෘතිතා පවතී. එනම් අස්ථිවල ඇදවීම, අස්ථි වර්ධනය නොවීම (උස නොයෑම) ආදී රෝග ඇත. එවැනි තත්ත්ව දීර්ඝකාලීනව බලපෑම් කරනු ලැබේ. එවිට නම් අස්ථි සම්බන්ධ වෛද්‍යවරයකු හමුවීමට සිදුවේවි.

බිලිඳුන්ගේ කුමන හෝ අස්ථි ගැටලුවක් ඇත්නම් එය කුඩා කලදී ශල්‍යකර්ම මඟින් සුවකරගත හැකියි. වෛද්‍ය විද්‍යාව අද ඒ තරමට දියුණුය. ඒ සඳහා යොමුවිය යුත්තේ වයස අවුරුදු 3 පසුවූ විටය.

ඇවිදින වයසේ සිටින දරුවා පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න. මන්ද කුඩා අතපසුවීමක් කිරිකැටි දරුවාගේ අනාගතය තීරණය කරාවි. දිනපතා රැකියාවට යන මව, පියා දරුවාගේ මෙවැනි වෙනස්කම් එක්වරම හඳුනා නොගනීවි.

* දරුවා ඇවිදින ස්ථානවල උල් සහිත භාණ්ඩ, ඝනකම් පෙට්ටි වැනි දේවල් තබන්න එපා. ඒවායේ ගැටීමෙන් දරුවාගේ හිස, යටිබඩ, මුහුණ. ඇස් අවට, කන් අවට ලේ ගලා නොගියත් තැලීම් ආදිය සිදුවිය හැකියි.

* මෙවැනි විටක දී ක්ෂණිකවම කළ හැක්කේ අයිස් කැටයක් තැබීම හෝ ළා රස්නේ වතුරින් තැවීමයි. අස්ථියක් බිඳී ඇතැයි දැනේ නම් වහාම ළඟම ඇති රෝහලට ගෙනයන්න.

* වැඩිහිටියන්ගේ අස්ථි බිඳීම් මෙන් දරුවන්ගේ අස්ථි බිඳීම් දරුණු නොවිය හැකිය. ඒ දරුවන්ගේ අස්ථි බිඳීම් ඉක්මනින් ම යථා තත්ත්වයට පත්වන බැවිනි. එවැනි කුඩා බිඳීම් Green Stik Fracture ලෙස දක්වයි. ඒවාට බිය නොවන්න. එක්ස්-රේ පරීක්ෂාවක් ඔස්සේ ඒ පිළිබඳ නිවැරැදි නිගමනයකට එළැඹිය හැකිවේ.

දරුවාට උල් සෙල්ලම් බඩු දෙන්න එපා. දරුවා නිදන ඇඳ පාමුල දිගින් හා ඝනකමින් යුතු රබර් කාපට් එකක් දමන්න. දරුවා යම් හෙයකින් වැටුණත් වැටෙන්නේ ඒ මතටයි.

යම් විටෙක බිලිඳා උසකින් වැටී සිහිමූර්ඡා වුවහොත් සැලකිලිමත් වන්න. ළඟම ඇති රෝහලකට ගෙන යන්න. වැටුණ පසු බිලිඳා එක දිගට හඬයි ද, නිදිමත ගතියකින් පෙළේ ද යන්න පිළිබඳ සැලකිලිමත් වන්න. ඇඬීම නවතා දීර්ඝ නින්දකට වැටුණොත් ‘සනීපෙට නින්ද ගිහින්‘ යැයි සිතන්න එපා. දරුවා පිළිබඳ සැලකිල්ලෙන් සිටින්න. විශේෂයෙන් ම දරුවාගේ ඇස් දෙස හොඳින් බලන්න. දරුවා නිදිකර කෑම කැවීම, පෙවීම ආදිය කරන්න එපා. අංග චලනයන් පිළිබඳ, බිලිඳා හඬන විට හුස්ම ගන්නා අන්දම ආදිය නිරීක්ෂණය කරන්න.

(Tharunie)