Sunday, October 20, 2024
Follow Us
තායි,කොරියන් නළු නිළියන් ලස්සන වීමේ රහස දන්නවා ද?

සුන්දරත්වය සෑම ගැහැනියක්ම උරුමකර ගත යුතු දෙයකි. වයස කුමක් වුවත් නිරෝගීබවත් සිරුරේ හැඩයත් හැමදාමත් එකලෙසින් පවත්වා ගෙන යන්නට හැකි නම් ඈ වාසනාවන්තියකි.

'දියණියක් නම් රූමත් විය යුතුය.' මේ බොහෝ දෙනාගේ මතයයි. මෙහි වරදක් නැත. එය කාලයේ තාලයට ගැළපෙන්නකි. බොහෝ අය සිතන්නේ රූමත්වීම යනු රූප රාජිනියකගේ පෙනුම ගැනීම කියාය. එහෙත් අප රූමත්කම ලෙසින් වටහාගත යුත්තේ ප්‍රිය මනාප පෙනුමයි. හැඩැති සිරුරයි. පැහැපත් සම, දීප්තිමත් කෙස් කලඹ හා සිරුරේ නිරෝගීතාවයයි. පැහැපත් සම යනු සුදු සමක් නොවේ. වියළී නොගිය, සමේ රෝග නැති, පිරිපුන් පෙනුමක්, දීප්තිමත්බවක් පෙන්වන සමයි.

අතීතයත් වර්තමානයත් සසඳන කල්හි අද ගෙදරක තමන්ගේ ම අතින් කරන වැඩ කටයුතු ප්‍රමාණය බෙහෙවින්ම අඩු වී ඇත. බොහෝවිට සියල්ල කෙරෙන්නේ විදුලි උපකරණ මඟිනි. බොහෝ දියණියන් ගෙදරක වැඩ කටයුතු නොකරන තරම්ය. එපමණක් නොව එදා පාසලේ දී ක්‍රීඩාවට, ව්‍යායාමයට නැඹුරු වූ දියණියන් බොහොමයක් සිටියත් අද අව්වට කළු වෙනවා යැයි කියමින් ඒවා මඟ හැර සිටින ප්‍රමාණය ද වැඩිය. මේ නිසාම දියණියන් ඇඟ වෙහෙස කරන ප්‍රමාණය අඩු වී තිබේ. සිරුර මහත් වීමේ තත්ත්වය පාර කියන්නේ ලෙඩ රෝග රැසකටයි. එපමණක් නොව බොහෝ තරුණියන්ගේ සිරුරේ හැඩයක් අත්තේ නැති තරම්ය. ඔවුන් මහත් වීමේ ප්‍රමාණය වැඩි වී ඇත.

ඒ නිසාම නූතන අම්මා කෙනකුගේ කාර්යයන් අතරට දියණියගේ සිරුරේ හැඩය, නිරෝගීබව රැකගැනීමත් ඇතුළත් විය යුතු කරුණුය. කුඩා කාලයේ සිටම දියණියකගේ පෙනුම ගැන මව සැලකිලිමත් විය යුතුයි. දියණියගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට ඇගේ පෙනුම වර්ධනය කරගත යුතු ආකාරය වෙත ප්‍රායෝගිකව ඈ නැඹුරු කළ යුතුය.

අද බොහෝ අය විවිධාකාර දේවල් කෑමට, බීමට ගිජුකමක් දක්වති. වසංගතයක් තරමටම මේ කෑමට ඇබ්බැහි වූ පිරිසක් ද හිඳිති. කොපමණ කෑවත් නිසි ලෙස ව්‍යායාම කරන්නේ නම් සිරුරේ හැඩය රැකගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. එහෙත් අපේ ළඳුන් කනවා හැරෙන්නට ව්‍යායාම කිරීමක් ගැන කොහෙත්ම සිතන්නේ නැත. මේ නිසා සිරුරේ හැඩය රැකගන්නට නම් කෑමබීම ද වෙනස් කළ යුතුයි. මේ සියල්ල පිළිබඳ අවබෝධයක් ලබා දිය යුත්තේ කුඩා වියේ සිටමය. එලෙස කුඩා වයසේ දී ම අම්මාගෙන් නිසි ගුරුහරුකම් ලැබේ නම් එම ගුරුහරුකම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟේ නම් මේ සියල්ලම ඇගේ පුරුදුබවට පත්වේ. එලෙස පුරුදුබවට පත්වූ කල්හි නැවත උපදෙස් දීමක් අවශ්‍ය වන්නේ නැත. ඈ තමා හුරුපුරුදු වූ දින චර්යාව දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නිරායාසයෙනි.

ඒ නිසා දියණිය ව්‍යායාම කිරීමට සුදුසු වයසට පැමිණි කල්හි ඒ කෙරෙහි ඇය යොමු කරන්න. එය වඩාත් සාර්ථක වන්නේ ඔබත් ව්‍යායාම කිරීමට හුරුවීමෙනි. ව්‍යායාම කිරීමට හුරුවීමෙන් ලෙඩ රෝග රැසක් වැලඳීම වළක්වා ගත හැකියි. එමෙන්ම දියණියකගේ කෑම වේල කෙරෙහි වඩ වඩාත් සැලකිලිමත් වන්න. පිෂ්ටය අඩංගු ආහාර ගැනීම අවම කළ යුත්තේ මහත් වූ විට නොවේ. මහත් වීමට පෙර සිටම කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගැනීමට උනන්දු වන්නේ නම් සිරුර අනවශ්‍ය ලෙසින් මහත් වන්නේ නැත. පිටි සහිත ආහාර අඩුවෙන් ගැනීමට කුඩා කල සිට පුරුදු වන්නේ නම් එය අනාගතයට කරන ආයෝජනයකි. අනවශ්‍ය ලෙස සිරුර මහත් වීම ඉන් වළකාලයි. එමෙන්ම ආහාර වේල් ගණන, කෑමට ගන්නා ආහාර ප්‍රමාණය ආදිය ද සැලකිල්ලෙන් පෙන්වා දිය යුතුය.

අපේ තරුණ දූවරු කොරියන්, තායි ආදී නළු නිළියන්ගේ පෙනුම කෙරෙහි වශී වී හිඳිති. ඒ පෙනුම, සුන්දරත්වය ඔවුනට හිමි වී තිබෙන්නේ ආහාර ගැනීමේ රටාවත් නිසි ලෙස ව්‍යායාම කිරීමත් යන කරුණු දෙක නිසාය. ඔවුන් කෑමට ගන්නේ පෝෂණය නොඅඩුවම ගෙන දෙන කෑමය. ඒ කෑම ගන්නා වේලාවක් ද ඇත. මේ අය බොහෝවිට සිය රාත්‍රී කෑම වේල ගන්නේ සවස 5ත් 7ත් අතර වේලාවේ දීය. රාත්‍රී හතෙන් පසු ඔවුන් ආහාර ගන්නේ ම නැත. බොහෝ අය රාත්‍රී 6 ට පෙර කෑම කා අවසානය. රාත්‍රී කෑම වේල නින්දට පැය 4කටවත් පෙර ගැනීමේ මේ හොඳ පුරුද්ද ඔවුන්ගේ සිරුරේ හැඩය කෙරෙහි බෙහෙවින්ම බලපායි. බඩ ඉදිරියට නෙරා එන්නේ නැත. එහෙත් අපේ දියණියන් සමහරෙක් කන්නේ රෑ නවයට දහයට ය. සමහරු කෑ සැණින් නින්දට යති. මේ අම්මලාගෙන් ලබාගත් පුරුදුය. ඒ නිසා ඔබේ දියණියගේ ආහාර රටාවත් ව්‍යායාම කිරීමේ පුරුද්දත් අනාගතයේ නිරෝගී ගැහැනියක ලෙස ජීවත් වීමේ හිමිකම නිසැකවම ඇයට තහවුරු කර දෙයි. මේ එළැඹි නව වසරේ දියණියන් සිටිනා මව්වරු මේ අදහසට මුල්තැනක් දීමට සිතට ගන්න.

(Tharunie)